එළඹෙන 2026/27 මහා කන්නයේදී දිවයින පුරා කුඹුරු හෙක්ටයාර් 308,638 ක් (අක්කර ලක්ෂ 8කට ආසන්න) සහ අතිරේක බෝග හෙක්ටයාර 168,000 ක් (බඩඉරිඟු 105,000, ධාන්‍ය 30,000, මිරිස් 9,400) වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇත.

සක්‍රීය වන ‘එල්නිනෝ’ තත්ත්වය හේතුවෙන් උතුරු පළාත හැර සෙසු ප්‍රදේශවලට සාමාන්‍යයට වඩා වැඩි වැසි සහ නොවැම්බර්-දෙසැම්බර් මාසවල දැඩි ගංවතුර, නායයෑම් අවදානම් පවතින බව ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය (NRMC) අනතුරු අඟවයි.  

වාරිමාර්ග දෙපාර්තමේන්තු ජලාශ 74 ක සක්‍රීය ධාරිතාව සියයට 35.3 ක් (අක්කර අඩි 1,047,522) සහ මහවැලි ජල මට්ටම  සියයට 63 ක් (මීටර් කියුබික් මිලියන 3,453) ලෙස යහපත් මට්ටමක පවතී.

එහෙත්, සුළු වාරි වැව් සියයට 50  ක පමණ ජලය  සියයට 25 ට වඩා අඩු බැවින්, වැසි ආරම්භයත් සමඟම ‘AWD’ ක්‍රමවේදය භාවිත කර වගාව අරඹන ලෙස දන්වා ඇත.  

අධික වැසි නිසා ඔක්තෝබර් 15 වනදාට පෙර වගා අවසන් කර, මාස තුන හා දෙක හමාර වී ප්‍රභේද යොදාගන්නා ලෙසත්, පොහොර සෝදාපාළුවීම වැළැක්වීමට කොටස් වශයෙන් යොදන ලෙසත් උපදෙස් දී ඇත.

තවද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව වී බුසල් 160,693 ක්, අතිරේක බෝග බීජ කිලෝග්‍රෑම් 136,524 ක් සහ එළවළු බීජ කිලෝග්‍රෑම් 42,000 කට අධික ප්‍රමාණයක් සංචිත කර ඇත. තේ, පොල් සහ කුරුඳු වගාකරුවන්ටද පස් සංරක්ෂණ ක්‍රම අනුගමනය කරන ලෙස ද ගොවි ජනතාවට දැනුම් දී තිබේ.    

Share.
Leave A Reply