ලංකාවේ අක්කර 9,87,000ක් විදේශිකයන්ට ලියාදීමේ කුමන්ත්‍රණයක්!

ලංකාවේ ක්‍රියාත්මක ආයතන 32 ක් ගැන හෙළිදරව්වක්!

ලංකාවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු අක්කර නව ලක්ෂ අසූපන්දහසක (9,87,000) දැවැන්ත භූමි ප්‍රමාණයක් “ඉඩම් බැංකු පනත” හරහා විදේශීය ව්‍යාපාරිකයන්ට සින්නක්කරව පැවරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව සිංහල දීප ජාතික සංවිධාන පෙරමුණේ ජාතික සංවිධායක සමින්ද ගමගේ අනාවරණය කරයි.

ලොව පුරා ක්‍රියාත්මක වන ජනතා දේපළ ජාවාරම්කාර “බුද්ධි ටැංකි” (Think Tanks) නම් වූ සංවිධාන 6,486 අතුරින්, ශ්‍රී ලංකාව තුළ සක්‍රීය වී ඇති ඇඩ්වොකාටා (Advokata) ආයතනය, ජාතික ආර්ථික පර්යේෂණ ආයතනය (IPS) සහ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) යන ප්‍රධාන ආයතන 3 ඇතුළු තවත් සමගාමී ආයතන 32 ක් එක්ව මෙම ජාවාරම මෙහෙයවන බව ඒ සඳහන් කළේය.

පාසල්, රජයේ අමාත්‍යාංශ සහ හමුදා කඳවුරු පවා පවතින මෙම භූමි ප්‍රදේශ “මියගිය ප්‍රාණධනය” ලෙස හඳුන්වමින්, දේශපාලන බලපෑම්වලින් තොර “ස්වාධීන ඉඩම් බැංකුවකට” පැවරීමට මොවුන් මාන බලන බව ද ඔහු කීය.

මේ ඔස්සේ මෙරට ඓතිහාසික මහා ගොවිජනපද සම්පූර්ණයෙන්ම විනාශ වී යන අතර, වනාන්තර හා පූජා භූමි තුළ වැටවල් ගසන්නට සිදුවන බවත්, විදේශීය සමාගම්වල ආරක්ෂාව වෙනුවෙන් විදේශීය හමුදාවන් පවා මෙරටට ගෙන ඒමට පාර කැපෙන බව ද හෙතෙම අවධාරණය කළේය.

මෙය නතර කිරීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතු බව ද හෙතෙම කීය.

කෙසේ වෙතත්, මෙම විනාශකාරී පනතට එරෙහිව වෘත්තීය සමිති 32 ක් ඇතුළු සිවිල් සංවිධාන රැසක් මේ වන විටත් ඒකාබද්ධව විරෝධය දක්වන බව ද හෙතෙම කීය.

ජාතික ආරක්ෂාව, දේශීය ඉඩම් අයිතිය සහ ආර්ථික ස්වෛරීභාවය සුරක්ෂිත කරගැනීම සඳහා ජනතාව අතර විනිවිදභාවයකින් යුතු අවබෝධයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු කීය.

මූලික අයිතිවාසිකම් පෙත්සම් හරහා මෙයට එරෙහිව දැවැන්ත නීතිමය හා මහජන විරෝධයක් ගොඩනගන බව වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply