දින ගණනක් නිදිවර්ජිතව සේවය කළ වෛද්යවරුන් රැකගනු වෙනුවට ප්රශ්න වවාගෙන කෑම වහා නතර කරනු
මුළු රටටම වනජීවී පශු වෛද්යවරුන් සිටින්නේ 12යි – මහාචාර්ය අශෝක දංගොල්ල අවධාරණය කරයි
අසාධ්ය තත්ත්වයේ පසුවූ ‘කාවන්තිස්ස’ හස්තියා බේරාගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්යවරුන් කිසිඳු පෞද්ගලික ප්රතිලාභයක් නොලබා දින ගණනාවක් පුරා නිදිවර්ජිතව කැපවී කටයුතු කර ඇති බවත්, ඔවුන්ට ලැබුණු පහසුකම් මොනවාදැයි සොයා නොබලා එලෙස කැපවූ වෛද්යවරුන්ට චෝදනා නැගීම බලවත් අසාධාරණයක් බවත් පේරාදෙණිය විශ්වවිද්යාලයේ පශු වෛද්ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි.
අප්රමාණ දුෂ්කරතා මධ්යයේ වුවද තම වගකීම ඉහළින්ම ඉටුකළ වෛද්යවරුන්ට දොස් නැගීමට පෙර, ඔවුන් මුහුණදෙන සැබෑ ගැටලු දෙස සාධාරණව බලන ලෙස මහාචාර්යවරයා ජනතාවගෙන් සහ මාධ්ය ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.
රටටම සිටින්නේ වෛද්යවරුන් 12 යි!
මුළු මහත් ශ්රී ලංකාවේම වනජීවී සම්පත රැකගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව සිටින්නේ පශු වෛද්යවරුන් 12 දෙනෙකු වැනි ඉතා අල්ප පිරිසක් බව පෙන්වා දෙන මහාචාර්යවරයා, අසනීප වී සිටි කාවන්තිස්ස හස්තියා වෙනුවෙන් පමණක් එම පිරිසෙන් පස්දෙනෙකුම (5) දින ගණනාවක් පුරා අඛණ්ඩව කැපවී ප්රතිකාර ලබාදුන් බව මතක් කර දෙයි.
එක් පශු වෛද්යවරයෙකු වටා වෛද්ය නොවන කාර්ය මණ්ඩලයේ 50 කට අධික පිරිසක් එක්ව අතිවිශාල මෙහෙයයක් ඉටුකරන බවත්, එවැනි කැපවීමක් අගය කරනු වෙනුවට යම් සිදුවීමක් වූ වහාම සැබෑ තත්ත්වය නොසොයා වෛද්යවරුන් මත පමණක් වරද පැටවීම කණගාටුදායක බවත් හෙතෙම සඳහන් කළේය.
“හිඟන්නාගේ තුවාලය වගේ වවාගෙන කන්න එපා”
වනජීවී පශු වෛද්යවරුන් මුහුණදී සිටින දැඩි පහසුකම් හිඟය සහ සේවක හිඟය වැනි ප්රශ්න සඳහා වහා විසඳුම් ලබාදී ඔවුන් රැකගැනීමට පියවර ගතයුතු බව අවධාරණය කළ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා, එම අඩුපාඩු සපුරාලීමට මැදිහත් නොවී මෙවැනි සංවේදී සිදුවීම් “හිඟන්නාගේ තුවාලය මෙන් වවාගෙන කෑමේ” පහත් තත්ත්වය වහාම නතර කළ යුතු බවට දැඩි ලෙස අවධාරණය කර සිටියේය.

