මතුවී ඇති විශේෂ තත්ත්වයන් කිහිපයකුත්, මං හිතන්නේ ශ්රී ලාංකික දේශපාලනික, සාමාජික, ඒ වගේම අපේ සංස්කෘතික වාතාවරණය තුළ මතුවෙමින් පවතින්නා වූ මේ තීරණාත්මක සිදුවීම් දාමය පිළිබඳව සර්වජන බලය හැටියට අපේ කියවා ගැනීමත්, අපේ යෝජනාවත් මෙසේ සඳහන් කරන්නට කැමතියි.
මං සඳහන් කළ පරිදි දැන් මේ මතුවෙමින් ඇති තත්ත්වයන් පිළිබඳව සර්වජන බලය හැටියට අපිට නිරීක්ෂණයක් තියෙනවා. මේ පිළිබඳව මේ ඥානසාර ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගැනීමත්, ඒ නිසා ඇතිවුණු මහා සංඝරත්නය ඊට දක්වන ප්රතිචාරයත් පිළිබඳව මාධ්යයේ යම්කිසි කතිකාවක් අපි දකිනවා.
නමුත් මේක අපි සඳහන් කරන්නට ඕන, මේ සිදුවෙමින් පවතින දේ පිළිබඳව මේ මාධ්ය මෙහෙයවන කණ්ඩායම් වලටත්, ඒ වගේම ආණ්ඩුවේ සමහර කොටස් වලටත් නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන බවයි පෙනී යන්නේ. ඒ අදහස් වන්නේ, දැන් දීර්ඝ කාලයක් තිස්සේ මේ ආණ්ඩුව බලයට පත්වෙලා, ඒ ගතවුණු කාලය තුළ දිගින් දිගටම සාකච්ඡා වන කාරණයක් තමයි මේ ආණ්ඩුව අපේ බුදුදහමට, අපේ සභ්යත්වයේ පාදමය වන බුදුදහමට දිගින් දිගටම අකටයුතුකම් කරන බව.
ඒ වගේම ඒ බුදුදහමට මෙතෙක් කල් තිබුණු සැලකිල්ල සම්පූර්ණයෙන්ම නැති වෙච්ච බව. මේක විටින් විට විටින් විට සමාජයේ මතුවෙනවා, සාකච්ඡාවේ භාජනය වෙනවා, ඒ නිසාම පොදු මතයක් ඇතිවෙලා තියෙනවා මේ ආණ්ඩුව හැමවිටම උත්සාහ කරන්නේ බුදුදහම සහ බුදුදහමෙන් පෝෂණය වන අපේ සභ්යත්වය අඩපණ කරන්නට කියලා.
මේ කතන්දරය තේරුම් ගන්නේ නැතුව, මං හිතන්නේ මේකට විසඳුමක් හොයන්නට බැහැ. ඒ නිසා තමයි දැන් සමහර වෙලාවට අපි මාධ්යයේ දකින්නේ මේ ඥානසාර ස්වාමීන් වහන්සේ ගැන සාකච්ඡා කරනවා. ඊළඟට මේ මීට විරුද්ධත්වය දක්වන ස්වාමීන් වහන්සේලාගේ අඩුපාඩු ගෙනහැර දක්වනවා. එහෙම නැත්නම් මේ විරෝධතා ව්යාපාරය තුළ තියෙන අඩුපාඩු ගැනත් දක්වනවා. ඒක වැරදියි. මේ ඇවිල්ලා තියෙන්නේ මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා වර්ධනය වුණු මිනිස්සුන්ගේ තියෙන හැඟීම් සමුදායක ප්රකාශනය.
ඉතින් මේක මතුවුණු අවස්ථාව තමයි ඥානසාර ස්වාමීන් වහන්සේ. දැන් මම පෞද්ගලිකව ගත්තොත්, ඒ ස්වාමීන් වහන්සේගේ යම් යම් අවස්ථාවලදී උන්වහන්සේ කටයුතු කිරීම ගැන විරුද්ධත්වය ප්රසිද්ධියේ ප්රකාශ කරපු කෙනෙක්. උන්වහන්සේගේ සමහර ප්රවේශයන් විවේචනය කරපු කෙනෙක්. නමුත් පොදුවේ මහා සමාජය පිළිගන්න කාරණය තමයි උන්වහන්සේ ඒ කරපු කටයුතු වල තිබුණේ පරාර්ථකාමීත්වය මිසක් උන්වහන්සේගේ පෞද්ගලික අභිලාෂයන් ඉෂ්ට කර ගැනීමට උන්වහන්සේ කටයුතු නොකර බව. ඉතින් එහි යම් සත්යයකුත් තියෙනවා.
මොකද උන්වහන්සේගේ ජීවිතය දෙස බැලුවාම, උන්වහන්සේ ඒ ගත කරපු ජීවිතය තුළ උන්වහන්සේ මේ පෞද්ගලිකව පන්සල් ගොඩනගා ගන්නවත්, එහෙම නැත්නම් වත්කම් උපයා ගන්නවත් කටයුතු කරායි කියලා උන්වහන්සේට චෝදනාවක් නැහැ. ඉතින් එහෙමනම් උන්වහන්සේ මේ නිස්සරණ අධ්යාශයෙන් කටයුතු කරද්දී උන්වහන්සේගේ අතින් හැසිරීමේදී, වාග් විලාසයේදී, උන්වහන්සේගේ ප්රවේශයේදී අඩුපාඩු තිබෙන්නට පුළුවන්. සමහර අවස්ථාවලදී උන්වහන්සේ කරන ලද නිර්වචනයන්ගේ වැරදි තියෙන්නට පුළුවන්. නමුත් සමස්තයක් හැටියට මහා සමාජයේ පිළිගන්නේ උන්වහන්සේ මෙසේ දඬුවමට ලක් නොවිය යුතු ස්වාමීන් වහන්සේ නමක් හැටියට.
ඒ වගේම මේ නිශ්චිත කාරණය සම්බන්ධයෙනුත්, උන්වහන්සේ සිරගත වීම සම්බන්ධයෙනුත් මහා සමාජයේ සංවාදයක් තිබෙනවා උන්වහන්සේ අපරාධකරුවෙකු නොවන බව. උන්වහන්සේ සිරගත වී ඇත්තේ අර සාම්ප්රදායික අපරාධ ගණයට වැටෙන අපරාධ නිසා නොවන බවත්, උන්වහන්සේගේ ආවේගශීලීව උන්වහන්සේ තමන්ගේ දේශමාමකත්වයත්, දේශප්රේමීත්වයත් කැටිව උන්වහන්සේගේ ඒ ක්ෂණිකව උන්වහන්සේ ප්රකාශ කළ ප්රකාශ අරබයා මේ දේ සිදුවුණු බව.
ඉතින් ඒ නිසා දැන් ඒකත් සමාජ මතය නම්, මේ බුදුදහමට වෙනවායි කියන හානිය පිළිබඳ පොදු මහජන මතයකුත් තිබෙනවා නම්, මේ දෙක එකතු වෙලා තමයි මේ විරෝධයක් මතුවුණේ. එතකොට මේ විරෝධය විසඳන්නට නම්, මේ කරුණු සියල්ලමත්, ඒ පිටුපස තිබෙන මේ රටේ සෝහසක් ජනතාවගේ අපේක්ෂාවන්, ඒ සෝහසක් ජනතාවගේ හැඟීම් පිළිබඳ සංවේදී විය යුතුමයි.
මේ ආණ්ඩුව කිනම් අවස්ථාවක, කොයි ආකාරයෙන් අතීතයේ කටයුතු කරලා මෙවැනි උද්ඝෝෂණ පාලනය කරත්, මේ අවස්ථාවේදී එය පුළුවන්කමක් තිබුණත් මේ ආණ්ඩුවේ මේ පවතින ඒකාධිපතිත්වය තුළ, ඔවුන්ට පුළුවන්කම නැහැ කියන්නේ නැහැ, මේ ආණ්ඩුව කටයුතු කරන්නේ සම්පූර්ණයෙන්ම ඒකාධිපති ආණ්ඩුවක් කටයුතු කරන ආකාරයට මම දිගින් දිගටම කියලා තියෙනවා. ඒකාධිපති ආණ්ඩුවකට ගොඩක් දේවල් කරන්නට පුළුවන්. ඒකාධිපති ආණ්ඩුවකට අමතක වෙනවා තමන්ට බලය ලැබුණේ මහජනතාවගෙන් කියන එක. ඒකාධිපති ආණ්ඩුවකට අමතක වෙන බොහෝ කරුණු අතර අමතක වෙනවා මහජනතාවගෙන් තොරව ආණ්ඩුකරණයක් කරන්න බැරි බව. ඒක තමයි ඒකාධිපති ආණ්ඩුවල හැටි. එහෙම තමයි ඒකාධිපති ආණ්ඩු හැසිරෙන්න ගිහිල්ලා ඒ ඒකාධිපති ආණ්ඩු වැටිලා තියෙන්නේ.
නමුත් දැන් මෙතන සිදුවෙලා තියෙන සිදුවීම සම්බන්ධයෙන් අපි කියන්නට ඕන, ගරු අධිකරණය උන්වහන්සේට දඬුවම් නියම කරා, එතකොට ඒ අනුව උන්වහන්සේ සිරගත වුණා. ඊළඟට උන්වහන්සේගේ ඒ සිරගත වීම නිවැරදි කිරීම සඳහා විධායකය මැදිහත් වෙලා උන්වහන්සේට ජනාධිපති සමාවක් ලබාදුන්නා, විධායකය මැදිහත් වෙලා. එතකොට ඒ විධායකයේ මැදිහත් වීමේදී සිදු වුණායි කියන යම්කිසි අඩුපාඩුවක් තිබෙනවා නම්, ඒ අඩුපාඩුව නිවැරදි විය යුතු ආකාරයත් සහිතව උන්වහන්සේට ලැබුණු ජනාධිපති සමාවට එරෙහිව කරන ලද ඒ අභියාචනයට ලැබුණු මේ තීන්දුව සලකා බලපුවාම පේනවා.
මොකක්ද ඒකෙ පේන්නේ? ඒකෙ පේන්නේ, දැන් උන්වහන්සේට ලැබුණු ජනාධිපති සමාවට එරෙහිව එක්නැලිගොඩ මහතාගේ බිරිඳ උසාවි යනවා. ගියාම මේ ජනාධිපති සමාව අහෝසි කරන්න කියලා එක්නැලිගොඩ මහතාගේ බිරිඳ ඉල්ලනවා. එතකොට මේ නඩු තීන්දුව, මේ නඩු තීන්දුවේ පැහැදිලිව තිබෙන්නේ එම කරුණු සලකා බලලා, ගරු අධිකරණය ඉදිරියේ තිබෙන කරුණුත් සලකා බලලා, අධිකරණයට තීන්දුවක් ගන්නට සිද්ධ වුණා, ඒ අධිකරණය විසින් විශ්වාස කරන යම් හේතුවක් නිසා, විශ්වාස කරන පරිපාලනමය දුර්වලතාවයන් නිවැරදි කරලා උන්වහන්සේට නැවත ජනාධිපති සමාව ලබාදෙන්න කියලා. වෙන මුකුත් නැහැ.
ඉතින් මේකෙ අපි තේරුම් ගන්න ඕන කාරණය තමයි, අපේ අතිගරු ජනාධිපතිතුමා විශ්වාස කරනවා නම් ප්රජාතන්ත්රවාදය, ඒ වගේම ඔවුන් කතා කරපුවේ යහපාලනය විටෙකදී, ඊට අමතරව මේ රටේ සියලුම ජනතාව ජාති, ආගම් භේදයකින් තොරව සංවේදී වන අපේ මහා සභ්යත්වයේ ප්රකාශනය, මේ බෞද්ධ භාවයේ ප්රකාශනය රැකගැනීම විශ්වාස කරනවා නම්, මේ ස්වාමීන් වහන්සේලා මෙහෙම තමන්ගේ කාර්යාලය ඉදිරියේ දිගින් දිගටම රඳවා ගැනීම නෙමෙයි යෝග්ය වන්නේ.
උන්වහන්සේලාගේ ඉල්ලීම, උන්වහන්සේලාගේ මේ අභිලාෂය සහ අපේක්ෂාව වන්නේ උන්වහන්සේලාට තේරුම් යනවා අපේ බුදුදහමේ ඒ ශ්රද්ධාව, බුදුදහමේ ඒ ඇති අපේ වැදගත් අංගයන් සියල්ලටම අභියෝග වන ආකාරයෙන් බුද්ධ චීවරය, මේ සිවුර කියන එකේ ඉඳලා සියල්ලට ලොකු අභියෝගයක් දැන් එල්ල වෙලා තියෙනවා. ඉතින් ආණ්ඩුව පැත්තෙන් සද්භාවමය වශයෙන් නිවැරදි කළ හැකි කරුණු අතර, ආණ්ඩුව අවංකව විශ්වාස කරනවා නම් මේ ප්රශ්නය විසඳන්නට, මේ එකිනෙකට වෙන වෙනම විසඳුම් තිබෙනවා.
සිවුර සම්බන්ධයෙන්, මම දැක්කා යම්කිසි උත්සාහයක් දරනවා ඒ කොහොමද බන්ධනාගාර ගතවන ස්වාමීන් වහන්සේ කෙනෙක් එලියට ගේනකොට මොකක්ද උන්වහන්සේට අන්දන්නට ඕන කියලා. නමුත් ඒවා පැලැස්තර ආකාරයෙන් නෙමෙයි, මොකද මේ ගරුතර ස්වාමීන් වහන්සේලා කතා කරන්නේත් උන්වහන්සේලාට හදවතින්ම දැනෙන දේ. ඔතන අඩුපාඩු තියෙන්න පුළුවන්, නමුත් බහුතරයක් ස්වාමීන් වහන්සේලා කතා කරන්නේ තමන් ගමේ ඉන්න තමන්ගේ උපාසක උපාසිකාවන් එක්ක කරන ගනුදෙනුවෙන්, තමන් ඇතිකර ගත්ත මේ අවබෝධයෙන්, ඒ විශ්වාසයෙන් කටයුතු කරද්දී මේ ස්වාමීන් වහන්සේලාට දැනෙන දේ.
ඉතින් අපි අවසාන වශයෙන් කියන්නට ඕන, මේ පසුබිම තුළ මේ රටේ තවත් මෙවැනි ප්රශ්නයක්, විශාල වශයෙන් දුරදිග යා හැකි ප්රශ්නයක් දරා ගැනීමට තරම් අපිට ආර්ථිකමය වශයෙනුත්, ඒ වගේම දේශපාලනික වශයෙනුත් ශක්තියක්, හැකියාවක් ඇති වෙලාවක් නෙමෙයි මේ ඇතිවෙලා තියෙන්නේ. දැඩි අර්බුදයක් ඉදිරියේ ඉන්න මොහොතක අපිට මෙවැනි අර්බුදයකටත් මුහුණ දීලා ලෝකය ඉදිරියෙත්, රට තුළත් අපේ ප්රතිරූපයත්, ඒ වගේම එයින් අනුශාංගිකව හටගන්නා සෙසූ සියලු අභියෝගයන්ටත් මුහුණ දෙන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි.
ඉතින් ආණ්ඩුව සැලකිලිමත් වෙන්නට ඕන තමන් මේ තමන්ගේ බලය ගැන, තමන්ට මේ ලැබුණු, අහම්බෙන් ලැබුණු විශාල බලය ගැන පමණක් විශ්වාසය තබා කටයුතු කරොත්, ඒ වගේම තමන්ගේ බලය භාවිතා කරලා මේ රටේ තියෙන වැදගත්, තීරණ තීන්දු ගන්නා සියලුම මර්මස්ථාන තමන් යටතට ගත්තායි කියලා හිතාගෙන කටයුතු කරොත් විශාල වැරදීමක් වෙන බව අපි කියන්නට ඕන. ඉතින් ඒ නිසා සාරාංශයක් හැටියට වහා කළ හැකි, වහාම විසඳීමට තිබෙන ප්රධානතම අවිය වන ජනාධිපතිතුමාට ඔහුගේ තනතුරින්ම ලැබිලා තියෙන මේ අවස්ථාව, දැන් අධිකරණයෙනුත් ඔවුන්ට ඒ අවස්ථාව පිළිබඳ පැහැදිලි නිර්වචනයක් දීලා තියෙන වෙලාවක භාවිතා කරලා, ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නිවැරදි ලෙස, කලින් ජනාධිපතිවරයාට වැරදුණු ඒ පරිපාලන දෝෂ ඉවත් කරලා, නිවැරදි ලෙස ජනාධිපති සමාව ලබාදෙන එක. වෙන මුකුත් අවශ්ය නැහැ.
එතකොට පොලීසිය දාලා දැන් ස්වාමීන් වහන්සේලාට ගහන්න අවශ්ය නැහැ, පොලීසිය දාලා ස්වාමීන් වහන්සේලාට අවමන් කරන්නට අවශ්ය නැහැ, පොලීසිය දාලා පොලිස් බලය භාවිතා කරලා ඒ වටා එන උපාසක උපාසිකාවන්ට පහර දෙන්නට අවශ්ය නැහැ. මේ ප්රශ්නය පැය ගණනක් ඇතුළත විසඳිය හැකියි. ඒ සඳහා අපි ප්රාර්ථනා කරනවා අපේ ජනාධිපතිතුමාට තමන්ට ආත්ම විශ්වාසයත්, ඒ වගේම ඒ දේශපාලන පෞරුෂයත් තිබෙයි කියලා.
මෙවැනි ජාතික ප්රශ්නයක් ඉදිරියේ පටු අර්ථයෙන් නිර්වචනය කරන්නේ නැතුව, ඒ වගේම තමන්ගේ අර කුඩා කාඩර් කණ්ඩායමක් සතුටු කිරීම සඳහා කටයුතු කරන්නේ නැතුව, අපේ රටේ ජාතික ප්රශ්නයක් හැටියට සලකලා, ඉන් ඇතිවිය හැකි අනතුරුදායක ප්රතිඵල ගැන සලකලා, අපේ රටේ සභ්යත්වයට, සංස්කෘතියටත් ඒ සඳහා ඇති අනුශාංගික වටපිටාව ඇති ඒ සම්පූර්ණ පද්ධතියටත් විය හැකි හානිය ගැන සලකලා, අපේ ගරු ජනාධිපතිතුමා තීන්දුවක් ගනී කියලා අපි විශ්වාස කරනවා. එතුමා එහෙම තීන්දුවක් ගත්තොත් හොඳයි. එහෙම නැත්නම් මොන විදියට කෙටි කාලීනව මෙය පාලනය කරත්, අපි ගරු ජනාධිපතිතුමා දැනගන්නට ඕන දස දහසකට වැඩි පන්සල් ප්රමාණයක් සක්රීයව මේ රටේ තිබෙනවා. මේ සියලුම පන්සල්, ඉතාම සීමිත පන්සල් කීපයක් හැරෙන්නට, සංවේගයට, කණගාටුවට පත්වී ඇති බව, ඒ නායක හාමුදුරුවරු කණගාටුවට පත්වී ඇති බව ඔබට ඉතාම පොඩි සමීක්ෂණයකින් දැනගන්නට පුළුවන්. ඒ නිසා ආරාධනා කරනවා ගරු ජනාධිපතිතුමාට මේ පිළිබඳව විවෘතභාවයෙන් සහ අවංකව කටයුතු කරන ලෙස.

