අංකුර විද්‍යාඥයින්, පර්යේෂකයින් සහ නව නිපැයුම්කරුවන් බිහි කිරීමට අවශ්‍ය පරිසරය සැකසීම සහ අඩිතාලම දැමීම වගකීමක් බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පැවසීය.දේශීය විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්‍රියාන්විතය බලගැන්වීමේ පියවරක් ලෙස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් ඒ යටතේ ඇති ජාතික විද්‍යා පදනම (NSF) සහ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව (SLIC) ප්‍රමුඛව අනෙක් අනුබද්ධ ආයතන සමග එක්ව සංවිධාන කළ ජාතික පාසල් විද්‍යා වැඩසටහනේ පළමු අදියරට එක් වෙමින් ඔහු මේ බව පැවසීය. වැඩසටහන ගම්පහ නගර සභා ශ්‍රවණාගාරයේ දී ඊයේ දින (සැප්.30) පැවැත්විණි.
පාසැල් දරුවන්ගේ තරුණ මනස තුළ විද්‍යාත්මක චින්තනය දිරිගැන්වීම, නිර්මාණශීලීත්වය හා නව නිපැයුම් ප්‍රවර්ධනය, ප්‍රායෝගික දැනුම හා පර්යේෂණ සිදු කිරීමේ කුසලතාව දියුණු කිරීම, තරුණ නව නිපැයුම්කරුවන්ගේ ව්‍යවසායකත්ව චින්තනය දියුණු කිරීම සහ විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම තුළින් එවැනි ක්ෂේත්‍රයන් තුළ පවතින පර්යේෂණමය හා වෘත්තිමය අවස්ථා සඳහා පූර්ව මඟ පෙන්වීමක් ලබා දිම අරමුණු කර ගනිමින් මෙම ජාතික පාසල් විද්‍යා වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. එහි පළමු අදියර ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ අධ්‍යාපන කලාපය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.
වැඩසටහන තුළ ප්‍රමුඛ අංගයක් ලෙස ජාතික විද්‍යා පදනම (NSF) මගින් පාසල් විද්‍යා සමාජ 25 ක් සහ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව (SLIC) මගින් යොවුන් නව නිපැයුම් සමාජ 25ක් නිල වශයෙන් ලියාපදිංචි කිරීම සිදුවිය. මීට පෙර සිථාපිත කරන ලද යොවුන් නව නිපැයුම් සමාජ හරහා ඉදිරිපත් කෙරුණු දේශීය ආර්ථිකයට දායකත්වයක් ලබාදිය හැකි නව නිපැයුම් ව්‍යාපෘති යෝජනාවන් 10ක් සඳහා එහි ඉදිරි කටයුතු වෙනුවෙන් රු.50,000.00 බැගින් මූල්‍ය ප්‍රදානයක් ලබා දීම ද මෙහි දී සිදු කෙරිණි.
ජාතික විද්‍යා පදනම, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය, නර්ඩ් ආයතනය, ශ්‍රී ලංකා පරමාණු ශක්ති මණ්ඩලය සහ ජාතික මූලික අධ්‍යයන ආයතනය යන ආයතනයන්හි නිලධාරීන් විසින් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ඇති පුළුල් විභවතාවන් පැහැදිලි කරමින් ඒ මගින් ගොඩනැගෙන වර්තමාන හා අනාගත ප්‍රතිලාභ අවස්ථාවන් පිළිබඳවත් ඒ සඳහා යොමු වීමට අදාළ ආයතන මගින් ලබා දිය හැකි සහය පිළිබඳවත් දීර්ඝව පැහැදිලි කළහ.
මෙහි දී අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමා මෙසේ පැවසීය.
“අපේ ශ්‍රේෂ්ඨතම වත්කම වන පාසල් දරුවන් ප්‍රමුඛ තරුණ පරපුරයි. ශ්‍රී ලංකාව ලෝකයට ආදර්ශයක් වන පරිදි විද්‍යාව හා තාක්ෂණයෙන් දියුණු රටක් බවට පත් කිරීමට ඒ තරුණ පරපුරට හැකියාව තිබෙනවා. ඒ වෙනුවෙන් පාසල් ශිෂ්‍ය ප්‍රජාව අතරින් අංකුර විද්‍යාඥයින්, පර්යේෂකයින් සහ නව නිපැයුම්කරුවන් බිහි කිරීමට අවශ්‍ය පරිසරය සැකසීම සහ අඩිතාලම දැමීම අපේ වගකීමයි. පන්තිකාමරයේ දැනුමට පිටින් ඇති විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ඇති පුළුල් දැනුම් සම්භාරය පෙන්වා දෙමින් ඉන් ප්‍රයෝජන ලබා ගැනීමට සැගවුණ දක්ෂතා ඇති දරුවන්ට අවශ්‍ය උත්තේජනය ලබා දීම අපේ අරමුණයි.”
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය රෝෂණී දිසානායක, අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ) ගීතානි කුරුප්පුආරච්චි, ජාතික විද්‍යා පදනමේ සභාපති විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර, නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ අධ්‍යක්ෂ නලින් දොලවත්ත යන මහත්වරුන්, අනුබද්ධ ආයතනවල නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

