සභාපතිතුමියගේ පණිවිඩය.

සෑම වසරකම ඔක්තෝබර් මස 01 වන දිනට යෙදෙන ලෝක ළමා දිනය  මෙවර“මනසින් සවිමත් – දරුවන් ” යන තේමාව යටතේ 2026 වර්ෂයේ ඔක්තෝබර් මස 01 වන දින සමරනු ලැබේ. රටක අනාගතය වෙනුවෙන් සිදුකල හැකි වටිනාම ආයෝජනය නම් දැනුම, කුසලතා සහ ආකල්ප වලින් පිරි අභියෝග හමුවේ නොසැලෙන  මනසින් සවිමත් ළමා පරපුරක් නිර්මාණය කිරීමයි. මේ සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ වන විටත් භාරදූර කාරයයක් ඉටුකරමින් සිටී.

ළමයින්ට එරෙහි සිදුවන සියලුම ආකාරයේ අපයෝජනය (කායික,ලිංගික,මානසික,හා නොසලකාහැරීම) වලට ගොදුරුවීම  වළක්වාගැනීම සහ එවැනි අපයෝජනයට ගොදුරුවූ ළමුන් ආරක්ෂාකිරීම   ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛ වගකීමක් වන අතර ඒ සඳහා නිරන්තරයෙන් ඇප කැප වී සිටින බව මා පවසන්නේ ඉතාමත් සතුටිනි. පසුගිය වසර කිහිපයතුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තාවූ පැමිණිලි වලින් නිරීක්ෂණ වන්නේ අප රටේ සිදුවන ළමා අපයෝජන ඩිජිටල් යුගය සමග වෙනස්වීමට භාජනයවී ඇති බවයි.

විශේෂයෙන්ම ළමයින් සමාජ මාධ්‍ය භාවිතයතුළ හිංසනයට ලක්වීම,අඛණ්ඩව පාසල් නොයැවීම ඉහළයාම, මව්වරුන් විදේශගතවීම, පවුල් ආරවුල් සහ දෙමාපියන් දික්කසාද වීම, ළමුන් විසින් අනෙක් ළමුන්ගේ ගරුත්වයට හානිවන ලෙස කටයුතු කිරීම හා අපයෝජන සිදුකිරීමට පෙළඹවීම වැනි ගැටලු ඉහලයාමේ ප්‍රවණතාවය මත ළමා අපයෝජන වර්ධනය වීමක් දක්නට ලැබේ. තවද, ළමුන් වැඩි වශයෙන් ඩිජිටල් තිර භාවිත කිරීම හමුවේ ඔවුන්ගේ ළමා කාලය අහිමිවීමත්, අධ්‍යාපන කෙරේ ඇති අවධානය අඩුවීමත් යන කාරණා මත සවිමත් ළමයෙකු නිර්මාණය කිරීමත් අද වන විට අප හමුවේ අභියෝගයක් වී ඇත.

එසේම ළමා අපයෝජනයන් සිදුවීම් කිසිවිටක සමතයකට පත් කිරීම කිසිම කෙනෙකුට සිදු කළ නොහැකි අතර එවැනි සිදුවීම් නොපමාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ  1929 ළමා උපකාරක දුරකථන සේවයට දැනුම්දීමට කටයුතු කරන්න. ළමයින් ආරක්ෂා කිරිමේ ප්‍රථම වගකීම තම පවුලෙන් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටින අතර සියලු ළමයින් ආරක්ෂා කිරීමට අප සැම කටයුතු කළ යුතුය.

රටේ සියලුම ළමයින්ට යහපත් වටපිටාවක නිදහසේ සහ සුරක්ෂිතව ජීවත්විමට අවශ්‍ය පරිසරය සකස්කර දීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඒකායන පරමාර්ථය වන අතර ළමුන් ලෙස ඔබද, ඔබ අවට ඇති අවධානම් හදුනාගනිමින් තම ආරක්ෂාව තහවුරු කර ගැනීම පිළිබඳ සැලකිලිමත් විය යුතු වන ලෙස ඉල්ලා සිටිමි. සියලුම ළමයින්ට ලෝක ළමා දිනය සමරන අද දින මාගේ සුභාශිංශන එක් කරමි. දැයේ සියලුම ළමයින් සියලුම ආකාරයේ අපයෝජන වලින් ආරක්ෂා කිරීමෙන් මනසින් සවිමත් දරු පරපුරක් බිහි කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය ලෙස මාගේ උපරිම කැපකිරිමෙන් කටයුතු කරන බව සතුටින් දන්වා සිටිමි.

ප්‍රීති ඉනෝකා රණසිංහ

සභාපති

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

Share.
Leave A Reply