පාර්ලිමේන්තු සංකීර්ණය: ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ සිට කිසිවෙකුටත් දැනගැනීමට නොහැකි වන පරිදි පක්ෂයේ දැවැන්ත සංවිධානාත්මක මෙහෙයුමක් රහසිගතව දියත් කර ඇති බව වාර්තා වේ.
දිස්ත්රික් මට්ටමින් පක්ෂයේ ප්රබලයින් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත කැඳවා ඉදිරි දේශපාලන සැලසුම් සහ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම සඳහා වන ප්රබල මූලික මෙහෙයුම් සාකච්ඡා කිහිපයක්ම පසුගිය සතියේදී රහසිගතව පවත්වා ඇත.
“මම හිරේ හිටියත් පක්ෂයේ වැඩ නතර කරන්න එපා!” – නාමල්ගෙන් ප්රබල නියෝගයක්
රහසිගත සාකච්ඡාව අතරතුරදී පක්ෂ ප්රබලයින් අමතමින් නාමල් රාජපක්ෂ මහතා ප්රකාශ කර ඇත්තේ වත්මන් ආණ්ඩුව තමන්ව ඉදිරියේදී තව තවත් නඩු වලට පටලවා සිරගත කිරීමට සැලසුම් කරමින් සිටින බවත්, තමන් ඕනෑම මොහොතක ඊට මුහුණදීමට සූදානමින් සිටින බවත්ය.
“මේ ආණ්ඩුව මට ඉදිරියේදී තව තව නඩු වලට පටලවන්න සැලසුම් කරනවා. මම ඒකට ලෑස්තියි. නමුත් මම හිරගෙදර සිටියත් පක්ෂයේ සංවිධාන වැඩ කටයුතු වේගවත් කරන්න. මම හිරේ ඉඳන් බලාගෙන ඉන්නවා පක්ෂය වෙනුවෙන් දක්ෂතා දක්වන්නේ කවුද කියලා. අපේ පාලනයක් ආපු දවසට ඔබට දෙන තනතුරු තීරණය වෙන්නේ ඒ කැපවීම මතයි!” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
රට පුරා ක්රියාත්මක වන රහසිගත සැලසුම් පහ (05):
ග්රාම නිලධාරී කොට්ඨාස 14,000 ම ආවරණය කිරීම: රට පුරා පිහිටි සියලුම ග්රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි, සෑම ගමකම සංවිධායකයින් සතියකට වරක් පාක්ෂිකයන් දැනුවත් කිරීමේ ජන හමු සංවිධානය කිරීම.
සතියකට වරක් පන්සල් සහ අදාළ ආගමික ස්ථාන මුල් කරගනිමින් පක්ෂයේ ප්රචාරක හා ආගමික වැඩසටහන් මාලාවක් පවැත්වීම.
ශාඛා සමිති මාසයකින් අවසන් කිරීම: පක්ෂයේ සියලුම ශාඛා සමිති පිහිටුවීමේ කටයුතු ඉදිරි මාසය ඇතුළත සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියෝග කිරීම.
නීතිඥවරුන් පිරිසක් සම්බන්ධ කරගනිමින් පොදුජන පෙරමුණ මගින් ක්රියාත්මක කරන විශේෂ ‘යුක්තිය’ වැඩසටහන ප්රබල ලෙස ඉදිරියට ගෙන යාම.
ජනමාධ්ය සහ ජනතා සන්නිවේදනය: පක්ෂයේ ඉදිරි වැඩසටහන් ජනතාව අතරට ගෙන යාම සඳහා ජනමාධ්ය සහ සමාජ මාධ්ය හරහා ප්රබල සංවාදයක් ගොඩනැගීම.
ඊළඟ මහා රැළිය මාතරට!
මේ අතර, පොදුජන පෙරමුණේ ඊළඟ දැවැන්ත මහා ජන රැළිය මාතරදී පැවැත්වීමට තීරණය කර ඇති අතර, ඊට සමගාමීව මුළු ලංකාවම ආවරණය වන පරිදි ප්රචාරක හා සංවිධාන කටයුතු ආරම්භ කිරීමට උපදෙස් දී ඇත.
මෙම රහසිගත සාකච්ඡාව සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, චානක මාධුගොඩ, ජෝන්ස්ටන් ප්රනාන්දු සහ චන්න සාලිය ඇතුළු පක්ෂයේ ප්රබලයින් පිරිසක් සහභාගී වී සිටි බව වාර්තා වේ. ආණ්ඩුව පෙරළීමේ තීරණාත්මක මුලපිරීමක් ලෙස සැලකෙන මෙම රහසිගත මෙහෙයුම මේ වන විට දේශපාලන කරළිය දැඩි ලෙස උණුසුම් කිරීමට සමත්ව ඇත.

