එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය (FAO) සහ ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය (IWMI) එක්ව සිදුකරන ලද දෛනික ඇස්තමේන්තු වාර්තාවලට අනුව ලංකාවේ දිනකට ආහාර අපද්‍රව්‍ය ටොන් 3,963ක් පමණ කුණු කසළ බාල්දියට දමන බව සඳහන් කර තිබේ.

එම දෛනික ඇස්තමේන්තුව පදනම් කරගනිමින් ගණනය කිරීමේදී, 2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝබර් 22 වැනිදා දක්වා ගෙවීගිය දින 295 ඇතුළත පමණක් මෙරට අපතේ ගොස් ඇති ආහාර ප්‍රමාණය ටොන් 1,169,085ක් (ටොන් මිලියන 1.17කට ආසන්න) තරම් අධික අගයක් ගනී.

දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ දිනකට ජනනය වන සමස්ත ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 7,000ක් පමණ වේ. මෙයින් ටොන් 706ක්ම බැහැර කෙරෙන්නේ කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙනි. වඩාත් කනගාටුදායක කරුණ වන්නේ කොළඹින් බැහැර කෙරෙන එම අපද්‍රව්‍යවලින් අඩක්ම, එනම් ටොන් 353ක්ම පරිභෝජනයට ගත හැකිව තිබූ ආහාර අපද්‍රව්‍ය වීමයි.

පාරිභෝගිකයා අතට පත්වීමෙන් පසු සිදුවන නාස්තියට අමතරව, අස්වනු නෙලීමේ සිට වෙළඳපොළට ප්‍රවාහනය කිරීම දක්වා වූ අස්වනු-පසු කාලසීමාව තුළදීද මහා පරිමාණ ආහාර පාඩුවක් සිදුවේ.

ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, මෙරට එළවළු සහ පලතුරු අස්වනු නෙලීමෙන් පසු සිදුවන වාර්ෂික පාඩුව පමණක් ටොන් 270,000ක් වේ. මීට අමතරව පළවූ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙරට වසරකට එළවළු ටොන් 221,955ක් සහ පලතුරු ටොන් 290,151ක් පාරිභෝගිකයා අතට පත්වීමට පෙරම අපතේ යන බවයි.

ගෘහස්ථ මට්ටමේ සිදුකරන ලද අධ්‍යයනයකට අනුව, එක් නිවසකින් දිනකට ආහාරයට ගත හැකිව තිබූ නමුත් ඉවත දමන ලද ආහාර ප්‍රමාණය සාමාන්‍යයෙන් ග්‍රෑම් 262.5ක් පමණ වේ. එම අධ්‍යයනයට එක්වූවන්ගෙන් සියයට 65.3ක්ම ප්‍රකාශ කර ඇත්තේ වේලකින් ඉතිරි වන ආහාර ඉවත දැමීමට කටයුතු කරන බවයි.

ආහාර අපතේ යාම යනු හුදෙක් පාරිසරික ගැටලුවක් පමණක් නොව, එය පිටුපස මහා පරිමාණ ජාතික හා ආර්ථික අපරාධයක්ද සිදුවේ. නාස්ති වන සෑම ආහාර ප්‍රමාණයක් සමඟම ඒවා නිෂ්පාදනයට, ප්‍රවාහනයට සහ ගබඩා කිරීමට වැය වූ ජලය, විදුලිය, ඉන්ධන, ශ්‍රමය මෙන්ම දැවැන්ත මුදල් කන්දරාවක්ද අපතේ යයි.

Share.
Leave A Reply