ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් හෙළිදරව්වක්! බාල ගල්අඟුරු නිසා මෙගාවොට් 300 ක් අහිමි වෙයි!
පාඩුව පියවන්න හදිසියේ වැඩි මිලට විදුලිය අරන්!
නැව් ප්රමාද ගාස්තු සහ හදිසි මිලදී ගැනීම්වලටත් රුපියල් මිලියන 2,686 කට වැඩි අමතර වැයක්!
විධිමත් තත්ත්ව පරීක්ෂණයකින් තොරව මෙරටට ආනයනය කරන ලද ප්රමිතියෙන් තොර බාල ගල්අඟුරු භාවිත කිරීම සහ නැව් ප්රමාදයන් හේතුවෙන් රුපියල් මිලියන 18,368.9 ක (රුපියල් කෝටි 1,836 කට අධික) දැවැන්ත අලාභයක් සිදුව ඇති බව යටිතල පහසුකම් සහ උපායමාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් හෙළිදරව් කරගෙන තිබේ.
අදාළ වාර්තාවට අනුව, නියමිත ප්රමිතියෙන් තොර ගල්අඟුරු දහනය කිරීමේදී කාර්යක්ෂමතාව අඩුවීම නිසා අමතර ගල්අඟුරු තොග වැඩිපුර භාවිත කිරීමට සිදුවීමෙන්ම පමණක් සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 7,099 කි.
මීට අමතරව, මෙම බාල ගල්අඟුරු භාවිතය නිසා විදුලි ජනන යන්ත්ර සූත්රවලට සිදුවූ හානි සඳහා වූ අතිරේක නඩත්තු කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 85.4 ක මුදලක් ද, දහනයෙන් පසු ඉතිරිවන අධික අළු ප්රවාහනය ඇතුළු ඊට අදාළ කාරණා වෙනුවෙන් රුපියල් මිලියන 13.1 ක අතිරේක පිරිවැයක් ද දැරීමට සිදුව ඇත.
මෙම බාල ගල්අඟුරු අර්බුදය හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 300 ක විදුලි නිෂ්පාදනයක් අහිමි වී තිබේ. එමගින් ඇතිවූ හිඟය පියවා ගැනීමටත්, විදුලි කප්පාදුවක් වැළැක්වීමටත් අධික පිරිවැයක් දරමින් හදිසියේ වැඩි මිලට විදුලිය මිලදී ගැනීමට සිදුවීමෙන් සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් මිලියන 8,572 කි.
ඒ අනුව, බාල ගල්අඟුරු භාවිතය, යන්ත්රසූත්ර හානි, අළු ඉවත් කිරීම සහ හදිසි විදුලිය මිලදී ගැනීම් යන කාරණා හතර නිසාම පමණක් සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 15,681 (කෝටි 1,568) කි.
රට ට ගල් අඟුරු නැව් 25 ක් පැමිණීමට තිබුණද, පැමිණ ඇත්තේ නැව් 19 ක් පමණක් බවත් කාරක සභා වාර්තාවේ සඳහන් වේ. ඇති වූ හිඟය පියවා ගැනීම සඳහා හදිසියේ ගල්අඟුරු නැව් 05 ක් මිලදී ගැනීමට සිදුවීමෙන් රුපියල් මිලියන 2,284 ක අලාභයක් සිදුව ඇති අතර, නැව් ප්රමාද ගාස්තු ලෙස රුපියල් මිලියන 402.8 ක පාඩුවක් සිදුව තිබේ.
ප්රමිතියෙන් තොර ගල්අඟුරු සහ නැව් ප්රමාදයන් හේතුවෙන් සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් මිලියන 18,368.9 ක් ලෙස ගණනය කර තිබුණ ද, මෙම ක්රියාවලියේ දී රජය විසින් ලබා දුන් සහනාධාර සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලැබූ අතිරේක පාඩුව ද ගණනය කළ විට මහජනතාව මත පැටවී ඇති සැබෑ අලාභය මීටත් වඩා බෙහෙවින් ඉහළ යන බව ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

