මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දේපළ ඉලක්ක කරයි

නිවාස 55ක්… වාහන 142ක්… ඉඩම් අක්කර 138ක්… බැංකු ගිණුම් 27ක්!

විදේශගත සැකකරුවන් 66ක් යළි ශ්‍රී ලංකාවට — ඉන්ටර්පෝල් රතු නිවේදන 236ක් ක්‍රියාත්මකයි!

මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචා සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන්ට අයත් රුපියල් බිලියන 6කට අධික වටිනාකමකින් යුත් වත්කම් සම්බන්ධයෙන් විමර්ශන 113ක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය අනාවරණය කරයි.

පොලිස් තොරතුරු අනුව, 2024 සැප්තැම්බර් 21 වැනිදා සිට ක්‍රියාත්මක වූ මෙහෙයුම්වලදී හඳුනාගත් වත්කම්වල වටිනාකම රුපියල් 6,000,154,630.75ක් හෙවත් රුපියල් බිලියන 6.000කට අධිකය.

ඉන් රුපියල් මිලියන 5,423ක වත්කම් මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් 102කට අයත් බවත්, තවත් රුපියල් මිලියන 209ක වත්කම් ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනකුට අයත් බව පොලිසිය පවසයි.

පිරමීඩ මූල්‍ය වංචා, ළමා අපයෝජන සහ පුපුරන ද්‍රව්‍ය සම්බන්ධ වැරදි ඇතුළු වෙනත් චෝදනා යටතේ සැකකරුවන් අටදෙනකුට අයත් රුපියල් මිලියන 367ක වත්කම් ද මෙම සංඛ්‍යාවට ඇතුළත්ය.

මේ අනුව පොලිස් වාර්තාවට අනුව අදාළ වත්කම් අතර රුපියල් මිලියන 1,437ක් වටිනා නිවාස 55ක්, රුපියල් මිලියන 1,322ක් වටිනා ඉඩම් අක්කර 138ක් සහ රුපියල් මිලියන 1,171ක් වටිනා වාහන 142ක් තිබේ.

මෙයට අමතරව රුපියල් මිලියන 428ක මුදල් තැන්පතු සහිත බැංකු ගිණුම් 27ක්, රුපියල් මිලියන 461ක මුදල්, රුපියල් මිලියන 168ක් වටිනා රන්, රුපියල් මිලියන 214ක් වටිනා වෙළෙඳසල් ඒකක 21ක්, රුපියල් මිලියන 250ක් වටිනා ගොඩනැගිලි අටක් සහ රුපියල් මිලියන 305ක් වටිනා බහුදින ධීවර යාත්‍රා 12ක් ද ඒ අතර වේ.

2024 සැප්තැම්බර් 21 වැනිදා සිට විදේශගතව සිටි සැකකරුවන් 66 දෙනකු යළි ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇති බව ද පොලිස් වාර්තාවල සටහන් වේ.

ඔවුන්ගෙන් 28 දෙනකුට ඉන්ටර්පෝල් රතු නිවේදන නිකුත් කර තිබූ අතර, තවත් 38 දෙනකු වෙනත් ක්‍රියාමාර්ග ඔස්සේ රටට ගෙන්වා තිබේ.

ක්‍රියාත්මක ඉන්ටර්පෝල් රතු නිවේදන සංඛ්‍යාව 236ක් බවත්, ඉන් 96ක් සංවිධානාත්මක අපරාධකරුවන් ඉලක්ක කර නිකුත් කර ඇති බවත් වාර්තා වේ.

Share.
Leave A Reply