ලාච්චු අස්සේ හංගපු ෆයිල් නෑ… කතානායකගේ හොරකම් පිට පිට එළියට – දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක
කතානායකවරයාට එරෙහිව කරුණු 50කින් සමන්විත ප්රබල විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, ආණ්ඩුව තාක්ෂණික දෝෂ මුවාවෙන් එය මගහැරීමට උත්සාහ කරන බවත් දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා අද (18) පැවැති මාධ්ය හමුවකදී අනාවරණය කළේය.
සමගි ජන බලවේග ප්රධාන කාර්යාලයේ පැවැති මෙම මාධ්ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිරෝෂන් පාදුක්ක මහතා සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව ළඟ අලුතින් හෙළිදරව් කළ දූෂණ ෆයිල් නොමැති අතර, ඔවුන් යහපාලන සමයේ ඉදිරිපත් වූ නඩු ටික පමණක් ඉදිරියට ගෙන යන බවයි.
කතානායකගේ නිල නිවාස සහ බඩු භාණ්ඩ අතුරුදන් වීම්
පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි වර්ග අඩි 15,000කට වැඩි අධි සුඛෝපභෝගී නිල නිවස තිස්සේම, කතානායකවරයා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා කොළඹ 07, ලොරිස් පටුමගේ පිහිටි රජයේ නිල නිවාස දෙකක් ද නීති විරෝධී ලෙස පරිහරණය කරන බවට හෙළි වී ඇතැයිද පාදුක්ක මහතා පැවසීය.
එමෙන්ම, නිල නිවසේ තිබූ බඩු භාණ්ඩ ඇතුළත් ඉන්වෙන්ට්රි පොත පවා අතුරුදන් කර ඇති බවට හෙළි වී තිබේ.
අල්ලස් කොමිසමෙන් විමර්ශන
කතානායකවරයාගේ අත්තනෝමතික ක්රියාකලාපයන්, අනිසි ලෙස පාර්ලිමේන්තු වාහන භාවිත කිරීම් සහ රුපියල් ලක්ෂ ගණනින් මහජන මුදල් නාස්ති කරමින් කමිටු පත්කිරීම් සම්බන්ධයෙන් දැනටමත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (AC055/2026B) මගින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද හෙළිදරව් විය.
“තාක්ෂණික දෝෂ නෙමෙයි, තියෙන්නේ ඕගොල්ලන්ගේ හොරකම්”
න්යාය පුස්තකයට ඇතුළත් වූ විශ්වාසභංග යෝජනාවක් පිළිබඳව දැන් තාක්ෂණික දෝෂ ඇති බව පැවසීම සභානායක බිමල් රත්නායක මහතා ඇතුළු ආණ්ඩුව තමන්ගේ දූෂණ වසා ගැනීමට දරන උත්සාහයක් බවට චෝදනා කළ පාදුක්ක මහතා, පාර්ලිමේන්තුව කල් තබා ජනතාවගෙන් මෙය වසන් කිරීමට නොහැකි බවත්, ආණ්ඩුවට ශක්තියක් තිබේ නම් විශ්වාසභංගයට බය නැතුව මුහුණ දෙන ලෙසත් අභියෝග කළේය.

