දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව, ආහාර සුරක්ෂිතතාව සහ නීල ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය ජලජ විද්‍යාත්මක දත්ත හා නවතම පර්යේෂණ එළිදැක්වෙන 37 වන ඡාත්‍යන්තර විද්‍යාත්මක සැසිය එළඹෙන ඔක්තෝබර් 02 වනදා ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතන (NARA) පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ.

“Aquatic Research for Climate Resilience, Food Security, and Blue Growth” (දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව, ආහාර සුරක්ෂිතතාව සහ නීල වර්ධනය සඳහා ජලජ පර්යේෂණ) යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වේ.

මෙම විද්‍යාත්මක සැසියේ ආරාධිත අමුත්තන් ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සහභාගී වීමට නියමිතය. සමුළුවේ ප්‍රධාන දේශනය ජපානයේ විදේශ ධීවර සහයෝගිතා පදනමේ (Overseas Fishery Cooperation Foundation of Japan) ධීවර විශේෂඥ ආචාර්ය ඉජිනෝ තදානෝරි මහතා විසින් පවත්වනු ලබයි.

මීට අමතරව නාරා ආයතනයේ සභාපති ආචාර්ය සනත් හෙට්ටිආරච්චි සහ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් අමරසූරිය යන මහත්වරුන් ඇතුළු දේශීය හා විදේශීය විද්‍යාඥයන් සහ පර්යේෂකයන් රැසක් මෙයට එක්වීමට නියමිතය.

දවස පුරා පැවැත්වෙන තාක්ෂණික සැසිවාරයන්හිදී ප්‍රධාන ක්ෂේත්‍ර 7 ක් යටතේ පර්යේෂණ දත්ත ඉදිරිපත් කෙරේ:

ධීවර, ජලජ වගාව සහ පසු අස්වනු තාක්ෂණය

ජලජ ජෛව තාක්ෂණය සහ ජලජ ජීවී සෞඛ්‍යය

ජලජ පරිසරය සහ දේශගුණික විපර්යාස

සාගර විද්‍යාව

ජලජ මිනුම් විද්‍යාව සහ භූගෝලීය තොරතුරු පද්ධති (GIS)

ධීවර ක්ෂේත්‍රය හා සබැඳි සමාජ-ආර්ථික විද්‍යාව

අලෙවිකරණය

එමෙන්ම නාරා විද්‍යාඥයින් විසින් සිදුකරන ලද විශිෂ්ට පර්යේෂණ අගයමින් සම්මාන ප්‍රදානය කිරීම මෙන්ම, සමුළුවට සමගාමීව සංවිධානය කළ ඡායාරූප තරගයේ ජයග්‍රාහකයන්ට තෑගි ප්‍රදානය කිරීම සහ එම ඡායාරූප නිල ප්‍රකාශන ග්‍රන්ථයට ඇතුළත් කිරීමද මෙහිදී සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජලජ සම්පත් ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය උදෙසා නව්‍ය හා ප්‍රායෝගික විසඳුම් ලබාදෙමින්, ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට හා තීරණ ගැනීමට අවශ්‍ය විද්‍යාත්මක පදනම සපයා දීම මෙම ඡාත්‍යන්තර සැසියේ ප්‍රධාන අරමුණයි.

Share.
Leave A Reply