මේ සංඛ්‍යා දෙක පිටුපස සිටින්නේ අද ආරක්ෂා කළ යුතු, හෙට රට හා ලෝකය භාරගන්නා පරපුරකි.
ළමයි කෝටි 230ක් අර්බුද මැද! ළමයා ආරක්ෂා නොකළොත් රටේ අනාගතයත් අනතුරේ!
ලංකාවේත් ළමයි ලක්ෂ 56ක් — ලෝක ළමා පරපුරට දරිද්‍රතාව, යුද්ධ, දේශගුණික විපත් හා ඩිජිටල් අවදානම්!
ලෝකයේ වයස අවුරුදු 18ට අඩු ළමයින් බිලියන 2.3ක් — කෝටි 230ක් පමණ ජීවත් වන අතර, ඔවුන්ගෙන් විශාල පිරිසක් දරිද්‍රතාව, පෝෂණ හිඟය, අධ්‍යාපන බාධා, යුද්ධ, දේශගුණික විපත් සහ විවිධ ආරක්ෂණ ගැටලුවලට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නවතම වාර්තා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ 2024 ජන හා නිවාස සංගණනයට අනුව වයස අවුරුදු 18ට අඩු ළමයි 5,593,304 කි. නැති නම් ලක්ෂ 55.93ක් සිටිති. එය මෙරට මුළු ජනගහනයෙන් 25.7%කට ආසන්න ප්‍රමාණයකි. එනම් ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට වැඩි පිරිසක් ළමයින්ය.
කෝටි 230ක ළමා පරපුරෙන් මිලියන 400කට වැඩි පිරිසක් දරිද්‍රතාවේ
UNICEF හි State of the World’s Children 2025 වාර්තාව අනුව අඩු හා මධ්‍යම ආදායම් රටවල පමණක් මිලියන 417ක් — එනම් කෝටි 41.7ක් — ළමයින් ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස, සනීපාරක්ෂාව හා පිරිසිදු ජලය යන මූලික අවශ්‍යතා අතරින් අවම වශයෙන් දෙකක දැඩි හිඟයකට මුහුණ දෙති.
තවද ලෝක ළමයින්ගෙන් 19%කට වැඩි ප්‍රමාණයක් දිනකට ඇමෙරිකානු ඩොලර් 3කට අඩු ආදායමකින් ජීවත් වන අන්ත මුදල් දරිද්‍රතාවයට මුහුණ දෙන බව එම වාර්තාව සඳහන් කරයි.
2024දී ලෝකයේ ළමයින්ගෙන් 19%ක් පමණ ගැටුම් පවතින ප්‍රදේශවල ජීවත් වී තිබේ. එම වසරේ එක්සත් ජාතීන් විසින් ළමයින්ට එරෙහි බරපතළ උල්ලංඝනයන් 41,370ක් තහවුරු කර ඇති අතර, එය 2023ට වඩා 25%ක වැඩිවීමකි. එම උල්ලංඝනයන්ට ළමයින් 22,495ක් බලපෑමට ලක්ව ඇත.
ලංකාවේ ළමා ජනගහනය අඩුවෙමින් — වැඩිහිටි ජනගහනය වේගයෙන් ඉහළට යයි. ලංකාවේ අනාගතයට බලපාන තවත් දැවැන්ත සංඛ්‍යාවක් 2024 සංගණනයෙන් හෙළි වෙයි.
2024දී වයස අවුරුදු 0–4 ළමයින් රටේ ජනගහනයෙන් 5.6%ක් පමණි. 1946දී එය 12.9%ක් විය. එනම් දශක ගණනාවක් තුළ කුඩා ළමා ජනගහන කොටස සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.
ඊට ප්‍රතිවිරුද්ධව වයස අවුරුදු 60ට වැඩි ජනගහනය 18%ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2012දී එය 12.4%ක් වූ අතර වසර 12කදී 5.6 ප්‍රතිශත ලක්ෂ්‍යයකින් ඉහළ ගොස් ඇත.
දත්ත පෙන්වා දෙන්නේ ළමා ප්‍රශ්නය යනු පවුලකට පමණක් සීමා වූ ගැටලුවක් නොවන බවය. ළමා දරිද්‍රතාව → පෝෂණ හිඟය → අධ්‍යාපන බාධා → කුසලතා හිඟය → වැඩිහිටි දරිද්‍රතාව යන චක්‍රය බිඳ දැමීම රටවල ප්‍රධාන අභියෝගයකි.
ඒ සඳහා UNICEF අවධාරණය කරන්නේ ළමා කේන්ද්‍රීය සමාජ ආරක්ෂණය, පවුල් සඳහා ආදායම් සහාය, නිදහස් හා ගුණාත්මක අධ්‍යාපනය, සෞඛ්‍ය හා පෝෂණ සේවා, පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව සහ ළමා ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම යන ක්‍රියාමාර්ගය.

