කෝටි 5 ඉඳන් 36 දක්වා ලංසු පරතරයක්: ප්‍රසම්පාදනය ChatGPT වලින් හැදූ විගඩමක් – වසන්ත මුදලිගේ

පොලිස් නිලධාරීන් සඳහා ශරීර පැළඳ කැමරා (Body Cameras) 500ක් මිලදී ගැනීමේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී බරපතළ මූල්‍ය හා තාක්ෂණික අක්‍රමිකතාවයක් සිදුවෙමින් පවතින බව ජන අරගල ව්‍යාපාරයේ වසන්ත මුදලිගේ මහතා චෝදනා කරයි. ඊයේ (සැප්තැම්බර් 27) නුගේගොඩදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, රජය විසින් ආරම්භ කර ඇති මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විනිවිදභාවයකින් තොර සහ අවිධිමත් එකක් වන බවයි.

ලංසු ඉදිරිපත් කළ සමාගම් අතර පවතින පිරිවැය පරතරයම මෙම ටෙන්ඩරයේ ඇති අක්‍රමිකතාවයට හොඳම නිදසුන බව වසන්ත මුදලිගේ මහතා දත්ත සංඛ්‍යා සහිතව තහවුරු කළේය.

අදාළ කැමරා 500 සඳහා ඉදිරිපත් වී ඇති මිල ගණන් රුපියල් කෝටි 5 සිට රුපියල් කෝටි 36 දක්වා වන විශාල පරාසයක විහිදී යයි.

සමාගම් අතර ලංසු පරතරය 7 ගුණයකින් (700%) ඉහළ අගයක් ගැනීමෙන් පෙනී යන්නේ නිසි තාක්ෂණික ප්‍රමිතියක් හෝ අවශ්‍යතාවයක් ලේඛනවල සටහන් කර නොමැති බවයි.

රජයට අයත් ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ආයතනය රුපියල් කෝටි 17ක ලංසුවක් ඉදිරිපත් කරද්දී, එහිම අනුබද්ධ මොබිටෙල් (Mobitel) සමාගම රුපියල් කෝටි 6ක ලංසුවක් ඉදිරිපත් කර තිබීම මෙහි ඇති අවුල්සහගත බව තවත් තහවුරු කරයි.

ලංකාවේ පොලීසියට ගැළපෙන තාක්ෂණික පිරිවිතරයන් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් අධ්‍යයනය කරනවා වෙනුවට, මෙම ටෙන්ඩර් ලේඛනය (TOR) සකස් කර ඇත්තේ ChatGPT වැනි කෘත්‍රිම බුද්ධි (AI) මෘදුකාංගයක් භාවිතයෙන් බවට ඔහු චෝදනා කළේය.

“AI මෘදුකාංගවලින් ලියවිලි හදද්දී එන ඉරි කෑලි (Lines) පවා මකාගන්න බැරි තරම් නොසැලකිලිමත් විදියටයි මේ ආණ්ඩුව වැඩ කරන්නේ. අවම තරමේ ඒ ලේඛනය නැවත කියවලා පරීක්ෂා කිරීමක්වත් කරලා නෑ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

ළබැඳියාවන් අතර ගැටුමක් සහ කැමරා 500 සැකය

මෙම ව්‍යාපෘතිය යටතේ ලබාගැනීමට නියමිත කැමරා 500ක ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවත්, මුලින් කුඩා ඇණවුමක් තමන්ට හිතවත් සමාගමකට අඩු මිලට ලබා දී පසුව වැඩි මිල ගණන් යටතේ මහා පරිමාණ ඇණවුම අදාළ සමාගමටම ලබාදීමේ යටි අරමුණක් තිබිය හැකි බවටත් සැක පළ කෙරේ.

එමෙන්ම, අන්තර්ජාල පහසුකම් සැපයීමේදී රජයේ ඩිජිටල්කරණ උපදේශක හාන්ස් විජේසූරිය මහතාට සබඳතා පවතින සමාගමක් සම්බන්ධ වීම හරහා බරපතළ ‘ළබැඳියාවන් අතර ගැටුමක්’ (Conflict of Interest) නිර්මාණය වන බවද හෙළිදරව් විය.

පොලිස් ස්ථාන තුළ සිදුවන පහරදීම් හා වධහිංසා වැළැක්වීමට පොලිසි ඇතුළතද කැමරා සපයන ලෙසත්, දැනට ක්‍රියාත්මක මෙම කඩිකුලප්පු ටෙන්ඩරය වහාම අවලංගු කර තාක්ෂණික උපදේශනයන් සහිතව විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අලුතින් ආරම්භ කරන ලෙසත් ජන අරගල ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි.

Share.
Leave A Reply