ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා ඇතුළු කිසිදු මැතිවරණයකදී වෙනත් කිසිදු ලකුණකින් හෝ වෙනත් පාර්ශ්වයන්ගේ ඡන්ද සංකේත යටතේ තරඟ නොකිරීමටත්, සර්වජන බලය පක්ෂයේ අනන්‍යතාවය වන ‘පදක්කම’ ලකුණින්ම පමණක් තනිවම සටනට පිවිසීමටත් තීරණය කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම්, නීතිඥ රංජන් සෙනවිරත්න මහතා පවසයි.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා සඳහන් කළේ, සර්වජන බලය පක්ෂය ගොඩනඟා ඇති ‘ව්‍යවසායකත්ව රාජ්‍යය’ පිළිබඳ සංකල්පය සහ පක්ෂයේ ප්‍රතිපත්ති මේ වන විටත් ජනතාව අතරට ගෙන ගොස් ඇති බැවින්, පක්ෂයේ ස්වාධීනත්වය සහ අනන්‍යතාවය සුරකිමින් ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන බවයි.
කෙසේ වෙතත්, සර්වජන බලය පක්ෂයේ මතවාදය සහ ප්‍රතිපත්ති පිළිගන්නා ඕනෑම ප්‍රගතිශීලී දේශපාලන කණ්ඩායමකට හෝ බලවේගයකට ‘පදක්කම’ ලකුණ යටතේ තමන් සමඟ එකතු වී තරඟ කිරීමට දොර විවෘතව පවතින බවද හෙතෙම වැඩිදුරටත් පැහැදිලි කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සමඟ කිසිදු පෞද්ගලික විරසකයක් නොමැති බව පැවසූ මහ ලේකම්වරයා, යුද්ධය නිම කිරීම වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉටු කළ කාර්යභාරය සහ සේවය තවමත් අගය කරන බව ප්‍රකාශ කළේය.
නමුත්, පසුගිය පාලන සමයේදී පොහොට්ටු රජය යටතේ සිදු වූ බව කියන වංචා, දූෂණ සහ වැරදි පාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සර්වජන බලය පක්ෂයට දැඩි ප්‍රතිපත්තිමය විවේචනයක් පවතින බවත්, එම විවේචන ඕනෑම අවස්ථාවක ඉදිරිපත් කිරීමට පක්ෂය පසුබට නොවන බවත් මහ ලේකම් නීතිඥ රංජන් සෙනවිරත්න මහතා අවධාරණය කළේය.

