රුපියල් බිලියන 5.7ක ඩීල් එක සහ වැසී ගිය අතීතයේ කළු සෙවනැලි!
සමස්ත ලෝකයම අධික පිරිවැයක් දරන සාම්ප්‍රදායික රූපවාහිනී සංඛ්‍යාත (TV Frequencies) අත්හරිමින් ඩිජිටල් මාධ්‍ය අවකාශය වෙත වේගයෙන් සංක්‍රමණය වෙමින් සිටින යුගයක, ශ්‍රී ලංකාව තුළ අතිශය සැකකටයුතු සහ ආන්දෝලනාත්මක මාධ්‍ය මෙහෙයුමක් කරළියට පැමිණ තිබේ.
ඒ, මීට පෙර දේශපාලන බලහත්කාරකම්, මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ (Money Laundering) චෝදනා හමුවේ වැසී ගිය කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් (CSN) නාලිකාවට අයත් සංඛ්‍යාත ඔස්සේ ‘මාතා ටීවී’ (Matha TV) නමින් නව නාලිකාවක් විකාශනය කිරීමට දරන උත්සාහයයි.
මෙම මෙහෙයුම පිටුපස සිටින්නේ ‘Agro Ventures’ නම් සැකකටයුතු වගා ආයෝජන ජාලයට අනුබද්ධිත ‘බිස්නස් මීඩියා ඉන්ටර් නැෂනල්’ (Business Media International) නම් සමාගමයි.
රුපියල් බිලියන 5.7ක ගණිතමය ආශ්චර්යය!
මෙම මාධ්‍ය ගනුදෙනුවේ ඇති මූල්‍යමය පරිමාණය සහ බරපතළකම පැහැදිලි වන්නේ එහි සංඛ්‍යාත්මක දත්ත දෙස බලන විටය: මාසික බදු කුලිය: රුපියල් මිලියන 23.8 වසර 1ක කුලිය: රුපියල් මිලියන 285.6 වසර 20ක දීර්ඝකාලීන බදු මුදල: රුපියල් බිලියන 5.71ක් (රුපියල් කෝටි 571කට අධිකයි) සමාජය තුළ දැඩි ලෙස කතාබහට ලක්වන පරිදි, මෙම ගනුදෙනුවෙන් 50%ක ප්‍රතිලාභයක් යෝෂිත රාජපක්ෂ වෙත ගලා යන්නේ නම්: මාසිකව: රුපියල් මිලියන 11.9ක් වසර 20ක සමස්ත මුදල: රුපියල් බිලියන 2.85ක (කෝටි 285ක) දැවැන්ත ධනස්කන්ධයක් මුළු ශ්‍රී ලංකාවටම වාර්ෂිකව වැනිලා අපනයනයෙන් ලැබෙන සමස්ත ආදායමම රුපියල් කෝටි 35ක් පමණක් වන වටපිටාවක, හුදෙක් රූපවාහිනී සංඛ්‍යාතයක බද්දට පමණක් රුපියල් බිලියන 5.7ක් විසි කිරීමට තරම් මුදල් උල්පත් පාදාගත්තේ කෙසේද යන්න රටට හෙළිදරව් විය යුතුය. අනාවරණය වන ප්‍රධාන ගැටලු සහ අභියෝග 3ක්1.
මහ බැංකු තහංචි මැද ගලා එන මේ මුදල් කාගේද?නියාමනය නොවන වගා ආයෝජන (Plantation Schemes) වංචා පිළිබඳව මහ බැංකුව දිගින් දිගටම අනතුරු අඟවා ඇති අතර, මහජන මුදල් තැන්පතු ලෙස එකතු කරගත් එවැනි ආයතන කිහිපයකම බැංකු ගිණුම් අත්හිටුවීමට (Freeze කිරීමට) ද පියවර ගෙන ඇත. එවන් පසුබිමක ‘මාතා ටීවී’ සහ Agro Ventures පිටුපස කැරකෙන මහා ධනස්කන්ධය අයිතිකරුගේ තනි පෞද්ගලික ආයෝජනද, නැතහොත් අහිංසක තැන්පත්කරුවන්ගේ අනාරක්ෂිත මුදල්ද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතුවේ.
TRCSL සංඛ්‍යාත ‘Sub-lease’ දීමේ නීතිමය පදනම කුමක්ද?විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මගින් නිකුත් කරන සංඛ්‍යාත යනු රජයේ පොදු මහජන දේපළකි. අක්‍රිය වූ CSN නාලිකාවට ලබාදුන් රජයේ සංඛ්‍යාතයක්, විවෘත ටෙන්ඩර් කැඳවීමකින් තොරව (Open Tender) බාහිර තෙවන පාර්ශ්වයකට වසර 20කට බදු දීමට (Sub-lease) නීත්‍යානුකූල ඉඩක් තිබේද?
ප්‍රමුඛ මාධ්‍ය වැටෙද්දී ‘වැනිලා වගාකරුවන්ට’ මාධ්‍ය නඩත්තු කරන්න සල්ලි කොහෙන්ද?රටේ දැවැන්ත මාධ්‍ය ජාල පවා ආර්ථික අර්බුදය හමුවේ ආදායම් අහිමිව සේවකයන් කප්පාදු කරද්දී, වැනිලා කිලෝවක්වත් විකුණාගත නොහැකි පසුබිමක ‘වගාකරුවෙකු’ මෙවැනි බිලියන ගණනක මාධ්‍ය ව්‍යාපෘතියක් පවත්වාගෙන යන්නේ කුමන යටි අරමුණකින්ද යන්න විමර්ශනය විය යුතුය.
අල්ලස සහ දූෂණයට එරෙහි පුරවැසි බලයේ මැදිහත්වීමමේ අතර, “අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය” සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් 2026 සැප්තැම්බර් (28 වන දින) ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ වලින් උපයාගත් දේපළ විමර්ශන කොට්ඨාසයේ (PCID) නියෝජ්‍ය පොලිස්පති / අධ්‍යක්ෂ ජෙනරාල් අසංක කරවිට මහතා වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එම පැමිණිල්ල මගින් පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටී:
CSNහි සැබෑ හිමිකාරිත්වය: වර්තමාන සහ හිටපු කොටස්කරුවන්, අධ්‍යක්ෂවරුන් සහ සමාගම පිටුපස සිටින අවසාන ප්‍රතිලාභීන් (Beneficial Owners) හඳුනාගැනීම.
වත්කම්, බැරකම් සහ බැංකු ගිණුම්: CSN ආයතනයේ වත්කම්, බැරකම් සහ ඒවාට අදාළ ප්‍රධාන බැංකු ගනුදෙනු පරීක්ෂා කිරීම. මුදල් මූලාශ්‍රය: CSN වෙත ලැබුණු විශාල මුදල්වල මූලාශ්‍රය සහ එම මුදල් වෙනත් පාර්ශ්ව වෙත මාරු වී තිබේදැයි සොයා බැලීම. නව ගනුදෙනුවේ නීත්‍යානුකූලභාවය: CSN සංඛ්‍යාත තෙවන පාර්ශ්වයකට ලබාදීමේ ගනුදෙනුව සඳහා භාවිතා වන රුපියල් බිලියන ගණනක මුදල්වල නීත්‍යානුකූලභාවය සහ එහි අවසාන ප්‍රතිලාභියා කවුදැයි තහවුරු කිරීම.
රජයේ සහ මහජනතාවගේ පොදු දේපළක් වන රූපවාහිනී සංඛ්‍යාත, පැරණි දේශපාලන බලපෑම් හෝ මූල්‍ය ජාවාරම් හරහා නැවතත් අඳුරු ගනුදෙනුවලට යටපත් වීමට ඉඩ නොදිය යුතුය.
මෙම රුපියල් බිලියන 5.7ක ‘මාතා ටීවී’ මෙහෙයුම පිටුපස ඇති සැබෑ මුදල් මූලාශ්‍ර සහ නීතිමය පදනම පිළිබඳව ස්වාධීන හා විධිමත් පරීක්ෂණයක් සිදුකර රටට සත්‍යය හෙළිදරව් කිරීම වගකිවයුතු බලධාරීන්ගේ පරම යුතුකමකි.

