ලංකාවේ ප්‍රථම ‘අපද්‍රව්‍ය ශූන්‍ය’ කුරුඳු සැකසුම් මධ්‍යස්ථානය රුහුණට

ITI සහ රුහුණු කෘෂි පීඨය එක්ව අලුත් ගමනක් අරඹයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන බෝගයක් වන ලංකා වගාවේ මෙතෙක් සිදු වූ දැවැන්තම ජාතික අපරාධයකට තිත තබමින්, කුරුඳු ගසේ සෑම කොටසකින්ම උපරිම ආර්ථික ඵලදාවක් ලබා ගැනීමේ “මෙරට ප්‍රථම අපද්‍රව්‍ය ශූන්‍ය (Zero-Waste) කුරුඳු සැකසුම් මධ්‍යස්ථානය” ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන තිබේ.

මේ සඳහා වන විශේෂ අවබෝධතා ගිවිසුම (MoU) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කාර්මික තාක්ෂණ ආයතනයේදී (ITI) අත්සන් තබන ලදී. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ රුහුණු විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨය එක්ව මෙම විප්ලවීය ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යනු ලබයි.

93%ක ජාතික අපරාධය!

නව මධ්‍යස්ථානය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පෙන්වා දුන්නේ, ලෝකයේ හොඳම කුරුඳු ශ්‍රී ලංකාවේ වැවුණද, සාම්ප්‍රදායික සැකසුම් ක්‍රම නිසා කුරුඳු ගසේ මුළු ජෛව ස්කන්ධයෙන් (Biomass) ප්‍රයෝජනයට ගන්නේ 7% ක් තරම් ඉතා සුළු ප්‍රතිශතයක් බවයි.

ඒ අනුව මෙතෙක් කාලයක් කුරුඳු ගසේ 93% ක්ම අපද්‍රව්‍ය ලෙස පරිසරයට විනාශ වී ගිය අතර, මෙම නව චක්‍රීය නිෂ්පාදන ක්‍රියාවලිය (Circular Economy) හරහා අස්වැන්න නෙළන ලද කුරුඳු ගසේ සෑම කොටසක්ම කිසිදු අපද්‍රව්‍යයකින් තොරව අධික වාණිජ වටිනාකමකින් යුත් අගය එකතු කළ නිෂ්පාදන බවට පරිවර්තනය කිරීමට කටයුතු යොදා ඇත.

ගාලු – මාතර කුඩා වගාකරුවන්ට මහත් සහනයක්

මාතර සහ ගාල්ල දිස්ත්‍රික්ක ප්‍රමුඛ කරගනිමින් කුඩා පරිමාණ වගාකරුවන් මුහුණ දෙන ඉහළ සැකසුම් පිරිවැය, සනීපාරක්ෂක ප්‍රමිතීන් පිළිබඳ ගැටලු සහ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා මෙමගින් පූර්ණ විසඳුම් හිමිවේ. රුහුණ විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨ පරිශ්‍රයේ ස්ථාපිත කෙරෙන මෙම මධ්‍යස්ථානය, ඉදිරියේදී රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් (PPP) ලෙස කුරුඳු පර්යේෂණ ආයතනය සහ ‘විදාතා’ වැඩසටහන සමඟද සම්බන්ධ වීමට නියමිතය.

ලෝක වෙළෙඳපොළේ ඉහළම භූගෝලීය දර්ශක (GI) අගයක් හිමි, සෞඛ්‍යයට අහිතකර ‘කුමරින්’ (Coumarin) රසායනයෙන් තොර එකම ‘සැබෑ කුරුඳු’ වන ලංකා කුරුඳු සඳහා වන ගෝලීය ඉල්ලුම ග්‍රහණය කරගනිමින් රටේ ආර්ථිකය නැංවීම මෙම තාක්ෂණික විප්ලවයේ ප්‍රධාන අරමුණයි.

Share.
Leave A Reply