කැලණි ගංගා ජලයෙන් සහ නිරන්තරයෙන් ඇතිවන ගංවතුර තත්ත්වයෙන් දැඩි ඉවුරු ඛාදනයට ලක්වන තර්ජිත ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති වැල්ලම්පිටිය, කොටුවිල, හල්මුල්ල ප්‍රදේශය ආශ්‍රිත ගං ඉවුරු ඛාදනය වැලැක්වීමේ නව ආරක්ෂණ බැම්ම ඉදිකිරීමේ කටයුතු නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (2026.07.02) නිල වශයෙන් ආරම්භ කෙරිණ.

කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍ර‌දේශයේ පිහිටා ඇති කොටුවිල, හල්මුල්ල ග්‍රාමය, කැලණි ග‌ගේ ඉවුරු ඛාදනයත් සමග බරපතල තර්ජිත ප්‍රදේශයක් බවට පත්ව ඇත. ගං ඉවුරු ඛාදනය හේතුවෙන් අවශේෂ මාර්ග, නිවාස, ව්‍යාපාරික ස්ථාන ඇතුලු පොදු හා පෞද්ගලික දේපල රැසකට හානි සිදුවී ඇත. පසුගිය කාලයේ සිදුවූ ඉවුරු ඛාදනය හේතුවෙන් මෙම ස්ථානයේ ඉදිකර තිබූ නිවාස කිහිපයකට සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වූ බව ද ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය පිළිබඳ කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡාවට ලක්වීමෙන් අනතුරුව හල්මුල්ල ගංඉවුර සංරක්ෂණ ව්‍යාපෘතිය කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට මූලික පියවර ගැණින. කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව මේ සඳහා ක්‍රියාත්මක විය.

ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සැලසුම්ගත ව්‍යාපෘතියකට අනුව කැලණි ගංගා වම් ඉවුරු සංරක්ෂණ වැඩසටහනට සමගාමීව කොටුවිල, හල්මුල්ල ඉවුරු ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ගංගා පතුලේ සිට ඉහළට ඉදිකෙරෙන මීටර් 600 දිගැති ආරක්ෂණ වැටිය සදහා වැයවන මුදල රුපියල් මිලියන 157 කි. මෙම ආරක්ෂිත බැම්ම ඉවුරු ආරක්ෂාවට මෙන්ම මෙම ස්ථානයෙන් ගග පිටාර ගැලීමෙන් සිදුවන ගංවතුර තත්ත්වය පාලනය කිරීමට ද හේතුවනු ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කොළඹ වාරි කලාප කාර්යාලයේ අධීක්ෂණයෙන් චමින්ද කන්ස්ට්‍රක්ෂන් ආයතනය මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන අතර, ව්‍යාපෘතිය මාස හතරක කාලයකින් අවසන් කිරීමට සැලසුම් කර ඇත.

වැඩ ඇරඹුම් අවස්ථාවට එක්වූ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ;

‘දිට්වා’ ආපදාවෙන් ලංකාවේ වැඩිම හානි සිදුවූ මැතිවරණ කොට්ඨාසය කොලොන්නාවයි. රටටත්, කොලොන්නාවේ ජනතාවටත් සම්පතක් වන කැලණි ගංගාවත් ඒ ආශ්‍රිත පරිසර පද්ධතියත් ආරක්ෂා කරගැනීම ජාතික අවශ්‍යතාවයක් බවට පත්වෙලා තිබෙනවා. පසුගිය කාලයේ සිදුකල මිනිස් ක්‍රියාකාරකම්, අවිධිමත් සංවර්ධනය නිසා ඇතිවූ අනිටු ඵලවිපාකත් නිසා මේ ජනතාවටත් ස්වභාවික පරිසරයටත් විවිධ තර්ජන එල්ල වී තිබෙනවා. පරිසරය ඇතුලේ මිනිසා ජීවත් විය යුතුයි. තනි තනිව පරිසරය පාලනය කරන්න බැහැ. මිනිසා පරිසරය සමග බද්ධ වී ඉදිරියට ගමන් කලයුතු වෙනවා. පසුගිය ඉතිහාසයේ සිටි දේශපාලඥයින් ස්වභාවික සම්පත්, ගඟ, පරිසරය ගැන බැලුවේ නෑ. සංවර්ධනය කියා හිතුණු හිතුණු විදියට වැඩ කළා. ඒ ක්‍රියාකාරකම් නිසා දැන් මෙහි ජනතාව පවකට මුහුණ දී සිටිනවා. දැන් ඒවාට උත්තර සොයන්න වෙලා.

කොලොන්නාවේ ජනතාව ගංවතුරෙන් ආරක්ෂා කරන්නත්, කොලොන්නාවේ භූමිය ගංගා ආක්‍රමණයෙන් ආරක්ෂා කර ගන්නත් විධිමත්, විද්‍යානුකූල ප්‍රවේශයකින් කටයුතු කරනවා. ස්ථිරසාර විසදුමක් ලබාදෙන්න ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. එන්බීආර්ඕ වාර්තා පදනම් කර ගනිමින් ජීවිතත්, දේපලත් සොබා දහමත් රැකගන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. කොලොන්නාවට ලබාදී ඇති විවිධ අර්ථකථන වෙනස් කරමින් දරුවන්ට ලස්සන රටක් උරුමකර දෙන්න ඔබ විසින් පත්කල මේ මහජන ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. ඒ ජාතික වැඩපිළිවෙල යතාර්ථයක් කරන්න සහය වෙන්න ඔබේ හඩ අවදිකරන මෙන් ඉල්ලා සිටිනවා.’

මෙම අවස්ථාවට කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපති චන්ද්‍රසිරි පරණවිතාන, එහි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන සුමිත් සුනන්ද, ඉන්දිකා තුෂාරි, කොලොන්නාව නගර සභා මන්ත්‍රී හර්ෂ නලින් හේමරත්න, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (කොළඹ කලාප) සුදර්ශනී විදානපතිරණ, වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරු නවෝද්‍යා වික්‍රමසිංහ, ප්‍රාදේශීය වාරි ඉංජිනේරු සකුරා දිල්තාරා, ඉදිකිරීම් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද අමරසිංහ එහි උපදේශක එල්. ඒ. ජෝශප් යන මහත්ම මහත්මීහු ඇතුලු නිලධාරීහු රැසක් සහ හල්මුල්ල හා ඒ ආශ්‍රිත ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply