ආපදාවට මන්දගාමී – ජනතාව මර්දනයට වේගවත්!
අයිසිං තවරපු සයනයිඩ් කෙටුම්පත්වලට එරෙහිව කොන්දේසි විරහිතව අරගල කරමු!
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ කියයි.
@ සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මහතා අද (28) පැවැති මාධ්ය හමුවේදී මෙසේද කීය.
අද දවසේ ඔබ බැලුවොත් එක පැත්තකින් කාලගුණය ඉතාම නරක විදියට අයහපත් වෙමින් පවතිනවා. දැන් දවස් කීපයක් තිස්සේ මේ අයහපත් කාලගුණය තුළ පීඩාවිඳින ජනතාව සඳහා රජය සක්රීයව, වේගවත් දායකත්වයක් ලබා දෙනවාද කියන ප්රශ්නය… උද්ඝෝෂණයක්, විරෝධයක් මතු වෙනකොට ඒ විරෝධයට, උද්ඝෝෂණයට ක්ෂණිකව සිදු කරන මැදිහත් වීම මේ මොහොතේ හදිසි ආපදා සම්බන්ධයෙනුත් මැදිහත් වෙනවාද කියන එක මේ රටේ ජනතාවට ඉන්ද්රිය ප්රත්යක්ෂ, ගෝචර ඥානයෙන්ම තේරුම් ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.
ඇයි මෙහෙම සිද්ධ වෙලා තියෙන්නේ?
කාලගුණ විද්යා අංශ දිගින් දිගටම රටට ඇති වෙලා තියෙන කාලගුණ විලෝපනය පිළිබඳව අනතුරු අඟවමින් තිබෙද්දීත්, පහුගිය අවුරුද්දෙත් නොවැම්බර් මාසේ – හරියටම මීට වසරකට ආසන්න කාලයේදී මේ රටට වෙච්ච ඛේදවාචකය අපි කාටත් මතකයි. ඒ ඛේදවාචකයෙන් තවමත් විධිමත්ව ගොඩ එන්නට පුළුවන් සැලැස්මක් ආණ්ඩුවට තිබුණේ නැහැ.
බ්රිතාන්ය අධිරාජ්යවාදීන් වසරක් ඇතුළත කඳු දුර්ග, නැත්නම් වන දුර්ග, ගිරි දුර්ග, කපොලු – මේ සියල්ල මැද්දෙන් වසර දහයකට අඩු කාලයකින් මහනුවර දක්වා දුම්රිය මාර්ගයක් ගොඩනඟන්න පුළුවන් වුණා. නොතිබුණු මාර්ගයක් හැදුවා අවුරුදු දහයෙන්. දැන් අවුරුද්දකට ආසන්නයි, බජව් දාලා, චූර්ණ වෙලා, කෝච්චිය අද ගියා, හෙට පස් කඳු කඩාගෙන වැටෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් ආපහු සැරයක් ඒ වගේ කාලගුණික විපර්යාසයක්. මේ සියල්ල මැද්දේ ඒ සම්බන්ධ මැදිහත්වීම් ඉතා මන්දගාමී.
හැබැයි ඒ මන්දගාමීත්වය නැහැ, රජයට විරුද්ධව සාධාරණ පදනමින් ජනතාව එළියට බහිද්දී. ඒක නම් හරි බොහොම වේගවත්. පොලිස් මැදිහත්වීම්, වෙනත් මැදිහත්වීම් හරිම වේගවත්. ඒ වගේම අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙක්හට දඬුවම් ලබා දීම පිළිබඳ විධිමත් ක්රියාමාර්ග අපේ නෛතික ලේඛනයන් තුළ ඉතා නිශ්චිතවත්, පැහැදිලිවත් පෙන්වලා තියෙනවා.
ඒත් මේ අයම බැන වැදුණු, මේ අයටම අත්දැකීම් තියෙන ඒ යාන්ත්රණයම ක්රියාත්මක වී පොලිස් කූඩුව ඇතුළේ පණ යන යුගයක් අපිට ජීවමානව දකින්න තියෙනවා. ඒක පැත්තක්.
අනිත් පැත්තෙන් දුන්නු පොරොන්දු ඉටු කරන්න බැරි වෙන කොට, ඒ වගේම දුන්නු පොරොන්දුත් හා බැඳී නොතිබුණු අලුත් නෛතික ප්රශ්නයන් ඇති වෙද්දී ඒවට වඩා විධිමත්, යථාර්ථවාදී විසඳුම් හොයාගන්නේ නැතුව – දැන් ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ සිවුරු උරfeature කිරීමේ කාරණය සහ උන්වහන්සේ සිරගත කිරීම පිළිබඳ කාරණයේදී… හිටපු අග්රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා මැතිතුමාගේ දේශනය, මේ ඊයේ පෙරේදා සිදු කරපු දේශනය අන්තර්ජාලයට මුදාහැරලා තියෙනවා. මම සියලු දෙනාට කියනවා ඒක ඉතා පැහැදිලිව, ගැඹුරින් පරිශීලනය කරන්න කියලා. ඒ තුළ ඔහු මතු කරන තර්කය ගැඹුරින් අධ්යයනය කරන්න. ඔහු මතු කරන්නේ මේ දුන්නු දඬුවමේ ස්වරූපය, ස්වභාවය සහ ගැඹුර පිළිබඳව. ඔහු මතු කරන්නේ ඒ තීන්දුව සහ ඒ හා බැඳුණු ආනුෂංගික කාරණාවල නෛතිකමය, සදාචාරාත්මක තත්ත්වයන් පිළිබඳව.
මේ සියල්ල තුළ, සහ ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන් වෙනුවෙන් සංඝ සමාජය සහ බෞද්ධ සමාජය එළියට ඇවිල්ලා තම විරෝධය ඊට පළ කරද්දී, රජයේ යළි හැසිරුණු හැසිරීම සිංහල බෞද්ධ සමාජයේ පමණක් නෙවෙයි – සිංහල කතෝලික සමාජයේ, දෙමළ හින්දු සහ කතෝලික වෙනත් ක්රිස්තියානි නිකාය නියෝජනය කරන සමාජයන්, ඒ වගේම ඉස්ලාම් සමාජයේ නැත්නම් මුස්ලිම් ජාතිකයන් ඒ කාරණාවලදී කටයුතු කරපු ආකාරය… අවසානයේදී ත්රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා නිකුත් කරපු ඒකාබද්ධ නිවේදනය තුළ උන්වහන්සේලාගේ මැදිහත්වීම රජයේ පාර්ශ්වයන් සමඟ මේ පිළිබඳ තීන්දුවක් ගත්තා.
මේ සියල්ල තුළින් පෙනෙන්නේ මොකක්ද? නැඟී ගෙන එන විරෝධය, එතකොට ඒ විරෝධය සමනය කරගන්න එක පැත්තකින් මේ ආණ්ඩුවේම නායකකාරකාදීන් මීට අවුරුදු 25කට 30කට කලින් පුන පුනා කියපු ලෙයින්, යකඩින් මර්දනය කිරීම නීත්යානුකූල සහ නීත්යානුකූල නොවන හැම ආකාරයකින්ම මුදාහැරීම පිළිබඳ තත්ත්වයන් – දැන් අර උද්ඝෝෂණවල ජර්මන් කතා කරන ප්රාඥයෝ ඇවිල්ලා ඉන්නවායි කියන තැන ඉඳලා මතු කරන මේ සියලුම කාරණා තුළ පෙන්නුම් කරන්නේ, එක පැත්තකින් නීත්යානුකූල සහ නීත්යානුකූල නොවන මර්දනීය ක්රියාමාර්ග මේ අය තළු මර මර, රස කර කර පෙර එහෙම වැරදි කරා නම් ඒ කරපු වැරදි මකා දමන්න, සාකල්යයෙන්ම සදාකාලිකව මකා දමන්න කියලා ආපු උදවිය, එය ඊටත් වඩා හොඳින් කර තියාගෙන යන ආකාරයයි.
එපමණක් නෙවෙයි, දැන් ගේන්නට අරාඳින, ගේන්නට වලිකන, එහෙමත් නැත්නම් මේ මොහොතේ ආණ්ඩුව වදන්නට බලාපොරොත්තු වෙන අලුත් පනත් කෙටුම්පත් හරහාත් පෙන්නන්නේ – දැන් ත්රස්තවාදය සඳහා නව නීති, ජාත්යන්තර ත්රස්තවාදය හඳුන්වා දීමේ ප්රශ්නයක් නැහැ, හැබැයි ඒ ගේන්න හදන පනත් කෙටුම්පත් ඇතුළේ තියෙන්නේ මොනවාද?
සංවිධානාත්මක අපරාධ – ඔව්, ඒ වෙනුවෙන් ඉතා නිශ්චිතව නව නීති, දැඩි නීති ඕනේ. හැබැයි ඒවා මැද්දේ ‘දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා’ මොඩලයේ විවිධාකාර රිංගීම්, ඒ තුළට රිංගවන්නේ වෙන කිසිම කාරණයකට නෙවෙයි: ආණ්ඩුව අවුරුදු දෙකක් වැඩ බැරුව අඳුරේ අතපත ගගා හිටියා. යන්නේ කොහෙද මල්ලේ පොල් විසඳුම් දුන්නා. බොම්බායේ අඩිය තිව්වම කල්කටාවේ ගිහිල්ලා අඩිය වදින ජාතියේ විසඳුම් දුන්නා. බලයට එන්න ප්රථම විවිධාකාර පොරොන්දු පැකේජයන් සෑම අංශයකටම දුන්නා.
දැන් ඒ සියල්ල සළුපිළි ගැලවෙමින් තියෙනවා. ඉතිරි වෙලා තියෙනවා නම් ඉතිරි වෙලා තියෙන ටික ටිකක් ගියවර දිට්ඨවා සුළි කුණාටුවෙන් ගහාගෙන ගියා, මේ පාර වැස්සෙන් ඉතිරි වෙලා තියෙන අමුඩ කෙටියත් ගැලවිලා යන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා.
ඉතින් අන්න ඒ ගැලවෙන අමුඩ කෙටියේ නිරුවත දෑතින් වසා ගන්නටවත් විදියක් නැහැ මුහුණුවල තැවරෙන නිසා. ඒ ගේන්නට හදන යෝජිත බයන්කර කෙටුම්පත්වලින් ඒ නිරුවත වසා ගන්නයි මේ උත්සාහ කරන්නේ.
මෙන්න මේකට විරුද්ධව කොන්දේසි විරහිතව අරගල කරන්නට සමස්ත රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙනවා. එතෙන්දී පාසල් දරුවාට සිද්ධ වුණු විෂය නිර්දේශ අලුත් කිරීම හරහා සිද්ධ වුණු අලකලංචියේ සිට මේ මොහොත දක්වා වසර දෙකක අසමත් වාර්තාව යළි පෙළගස්සලා බලන එක හොඳටම ප්රමාණවත්.
දැන් වසරකට කිට්ටු වෙන්නට එනවා වර්තමාන අධ්යාපනය සඳහා, විශේෂයෙන් සාමාන්ය අධ්යාපනය සඳහා ප්රතිසංස්කරණ කල් දාලා. දැන් මේවා මතක් කරන්න ඕනේ. මොකද කිව්වේ වසරක් තුළ මේ ඔක්කොම නිවැරදි කර ගත්තා, අලුත් පැකේජය මේ සම්බන්ධ නැත්නම් අලුත් යෝජනා එළිදක්වනවා කියලා. දැන් වසරකට කිට්ටු වෙන්න ඇවිල්ලා. ඉතින් ඒ නිසා අපි පෙන්වලා දෙනවා මේ කාරණා සම්බන්ධයෙන්.
ඒ වගේම මෙදා අයවැය කොයි විදියටද ජනතාවාදී ක්රමවේදයකට පරිවර්තනය කරගන්නේ? ඒ සියල්ල ආණ්ඩුව පිළිතුරු දිය යුතුව තියෙන ප්රශ්න නිසා අපි අහනවා, අපි කියනවා. මේ කාරණාවලට පිළිතුරු දෙන්න එකට විසඳුම මර්දන හස්තය දිගු කිරීමවත්, ඒකට විසඳුම ජනතාව භීතියට පත් කරන පනත් කෙටුම්පත් නැමැති ඒ මුහාවෙන්, නැත්නම් ජනතාව, රාජ්ය ආරක්ෂා කරන්න කියලා ගේන සුන්දර අයිසිං තවරපු, ඒක උඩ ලස්සන සමන්පිච්ච මල් තිබ්බයි කියන කේක් ගෙඩියක්, ඒත් සමන්පිච්ච මල් වෙනුවට කීඩාරම් මල්, රසති කේක් ගෙඩියක් කියලා පෙන්නුවට අතිශය භයානක නයිවිෂ සහ සයනයිඩ් කවපු කේක් ගෙඩියකින් ජනතාව මර්දනය කරන එක නෙවෙයි කියලා අපි ආණ්ඩුවට අවධාරණයෙන් ප්රකාශ කරනවා.”

