ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා නොදී, මිල වැඩි වන විට පමණක් එහි බර ජනතාව පිට පැටවීම වත්මන් රජයේ අසාධාරණ ප්‍රතිපත්තියක් බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා අද (21) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මෙම ක්‍රියාවලිය ජනතාවටම පැනවූ “දඬුවමක්” බඳු යැයි පැවසූ ඒ මහතා, රජයේ ඉන්ධන මිල සූත්‍රය මුළුමනින්ම පාරදෘශ්‍ය නොවන “දෙමුහුන්” ප්‍රතිපත්තියක් බවටද දැඩි ලෙස විවේචනය කළේය.

‘පරණ තොග’ තර්කය මතුවන්නේ මිල අඩුවෙද්දී විතරයි!

රජයේ පරස්පර විරෝධී ක්‍රියාකලාපය පෙන්වා දෙමින් සංජීව ධම්මික මහතා මෙසේද සඳහන් කළේය:

“ලෝක වෙළඳපොළේ මිල පහළ යද්දී අගමැතිතුමිය කියනවා ‘මාස දෙකකට කලින් ගෙනාපු තොග තියෙන නිසා මිල අඩු කරන්න බැහැ’ කියලා. හැබැයි ලෝක වෙළඳපොළේ මිල වැඩිවෙද්දී මේ ‘පරණ තොග’ ගැන කතාවක් නැහැ. එතකොට ඉතා ඉක්මනින් මෙහේ මිල වැඩි කරනවා. මේකෙන්ම පේනවා ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ තියෙන වංචනික බව.”

බිම් මට්ටමේ ජනතාවට සහනයක් නැහැ

රජය සහන ලබා දී ඇතැයි ප්‍රකාශ කළ ද, ප්‍රායෝගිකව බිම් මට්ටමේ ජීවත් වන ජනතාවට දැනෙන්නේ සහනයක් නොව දරාගත නොහැකි ජීවන බරක් බව හෙතෙම පෙන්වා දුන්නේය. ඉන්ධන මිල ඉහළ මට්ටමක පවත්වාගෙන යාම හේතුවෙන් බස් ගාස්තු, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සහ සමස්ත ජීවන වියදම හැම පැත්තෙන්ම ඉහළ ගොස් ඇති බවද ඔහු පැවසීය.

සජබෙන් රජයට බලපෑමක්

සමගි ජන බලවේගය (සජබ) ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින්නේ කරුණු තුනක් බව ද ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය:

ජනතාවට බොරු නොකියා සත්‍යය ප්‍රකාශ කිරීම,පවතින ඉන්ධන මිල සූත්‍රය සම්පූර්ණයෙන්ම විනිවිදභාවයෙන් යුක්ත (පාරදෘශ්‍ය) කිරීම,ලෝක වෙළඳපොළේ මිල අඩුවීමේ වාසිය සෘජුවම ජනතාවට ලැබෙන ස්ථිර ක්‍රමවේදයක් සැකසීම  වහාම කළ යුතුයි.

“ආණ්ඩුව සහන ආණ්ඩුවක් කියලා කිව්වට, දැන් සිද්ධ වෙන්නේ ‘රට පෙරට – ජනතාවට අසහනය’ වගේ වැඩක්. මේකෙන් පැහැදිලි වෙන්නේ ආණ්ඩුව තෙල් මිලෙන් ලාභ ලබද්දී, මහපොළොවේ ඉන්න ජනතාවට ජීවන බරේ පාඩුව විඳින්න වෙලා තියෙනවා කියන එකයි,” යනුවෙන් සංජීව ධම්මික මහතා වැඩිදුරටත් පැවසීය.  

Share.
Leave A Reply