රට තුළ නැවත කිසිසේත්ම ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොදෙන අතර, සමාජය තුළ සංවිධානාත්මකව ජාතිවාදය පතුරවන සංවිධානවල පැවැත්ම රජය විසින් මේ වන විටත් අහෝසි කරමින් පවතින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

මහනුවර අකුරණ මීසාන් ඉන්ස්ටිටියුට් ආයතනයේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, පසුගිය සමයේ ජාතිවාදී දේශපාලනය නිසා දැඩි ලෙස බැට කෑ වෛද්‍ය සාෆි මහතා වෙනුවෙන් තමන් ඇතුළු පිරිස සැමවිටම පෙනී සිටියේ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් බව සිහිපත් කළේය. එමෙන්ම වත්මන් රජය බලයට පත්වුවහොත් ආගමික නිදහස අහිමි වන බවට ඇතැම් පිරිස් පැතිරවූ කටකතා අසත්‍ය බව රජය මේ වන විට භාවිතාවෙන්ම ඔප්පු කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

වත්මන් අධ්‍යාපන ක්‍රමයේ පවතින අඩුපාඩු පෙන්වා දුන් අමාත්‍යවරයා, අධ්‍යාපනය යනු හුදෙක් වෙළඳ භාණ්ඩයක් හෝ උපාධි ලබාගෙන රජයෙන් රැකියා ඉල්ලන ක්‍රමවේදයක් නොවිය යුතු බවත්, එය රටට අවශ්‍ය වෘත්තීයවේදීන් සහ පුරවැසි වගකීම් හඳුනන ගුණගරුක සමාජයක් බිහිකරන මෙවලමක් විය යුතු බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය කතානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රියාස් ෆාරුක් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply