වසර 7ක බරපතල හිරදඬුවම් හිමිවිය හැකි වරදක් ගැන ‘පුරවැසි බලය’ රට හමුවේ තැබූ හෙළිදරව්ව මෙන්න

කඩුවෙල නගරාධිපතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්! – “පුරවැසි බලය” සංවිධානය ක්‍රියාවට බසී!

මාලිමාවේ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා ප්‍රසිද්ධ ජනතා ආමන්ත්‍රණයකදී තුටු පඬුරු සහ තෑගි බෝග ඉල්ලා සිටීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා “අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය” සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාව වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

2026 නොවැම්බර් 08 වන දින සිදුකළ ප්‍රකාශයක් මුල් කරගනිමින්, අද දින (2026.11.10) පෙරවරුවේ එම සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා ඇතුළු නියෝජිත පිරිසක් කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි අල්ලස් කොමිෂන් සභා මූලස්ථානය වෙත පැමිණ මෙම පැමිණිල්ල භාර දෙන ලදී.

රුපියල් මිලියනයක දඩයක් සහ වසර 7ක හිරදඬුවමක්!

“පුරවැසි බලය” සංවිධානය පෙන්වා දෙන්නේ 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 93 වගන්තියේ (ආ) පරිච්ඡේදය ප්‍රකාරව, පළාත් පාලන ආයතනයක සභිකයෙකුව සිටිමින් ත්‍යාගයක් ලෙස යම් තුටු පඬුරක් ඉල්ලා සිටීම බරපතල අල්ලස් වරදක් වන බවයි. මෙම වරද ඔප්පු වුවහොත් රුපියල් මිලියනයකට නොවැඩි දඩයකට සහ වසර හතක් නොඉක්මවන බරපතල වැඩ සහිත බන්ධනාගාරගත කිරීමකට යටත් විය යුතු බවද එම සංවිධානය සිය ලේඛන මඟින් අවධාරණය කරයි.

ජනතා නියෝජිතයන් ප්‍රසිද්ධියේ මෙලෙස තුටු පඬුරු ඉල්ලීම රටේ පවතින දූෂණ විරෝධී නීති රීති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බැවින්, මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස “පුරවැසි බලය” සංවිධානය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටී.

Share.
Leave A Reply