01. මනුෂ්‍ය ඝාතනයක් – ගන්දර පොලිස් වසම

ගන්දර පොලිස් වසමේ අක්කර 18 ප්‍රදේශයේදී 2026.11.09 වන දින රාත්‍රී කාලයේ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී තුවාල ලබා සිටි පුද්ගලයෙකු තලල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ගන්දර පොලිස් ස්ථානයට ලත් තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි තරුණයෙකි.

මියගිය තරුණයා සහ තවත් පිරිසක් අතර පැවති පරණ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගන්දර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

02. විදේශිකයෙකු දියේ ගිලී මියයාම – බෙන්තොට පොලිස් වසම

බෙන්තොට පොලිස් වසමේ මුහුදු තීරයේ 2026.11.09 වන දින උදෑසන කාලයේ දිය නාමින් සිටි විදේශීය ජාතිකයෙකු රළ පහරකට හසුව දියේ ගිලී මියගොස් ඇති බවට බෙන්තොට පොලිස් ස්ථානයට ලත් පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 30 ක් වූ රුසියානු ජාතිකයෙකි.

මෘත ශරීරය බෙන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. බෙන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

03. මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීමේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම – නොච්චියාගම පොලිස් වසම

2026.04.30 වන දින නොච්චියාගම පොලිස් වසම තුළදී පහරදී සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් නොච්චියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව 2026.11.09 වන දින රාත්‍රී කාලයේදී මෙම අපරාධය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

නොච්චියාගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

04. නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම – වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය

2026.11.09 වන දින පස්වරු කාලයේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරී කණ්ඩායමකට ලත් තොරතුරක් මත පාදුක්ක පොලිස් වසමේ මිරියගල්ල ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 75 ක් (බෝතල් 100 ක්) ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පාදුක්ක පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

සැකකරු මිරියගල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.

පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

05. පදික කාන්තාවක් යතුරුපැදියක ගැටීමෙන් මියයාම – වාරියපොල පොලිස් වසම

වාරියපොල – හලාවත මාර්ගයේ බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේදී 2026.11.09 වන දින සන්ධ්‍යා කාලයේ වාරියපොල දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දෙසටම ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු සහ පදික කාන්තාව තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදික කාන්තාව මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවකි.

වාරියපොල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

06. ත්‍රිරෝද රථයක යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු මියයාම – අතුරුගිරිය පොලිස් වසම

අතුරුගිරිය – ගොඩගම මාර්ගයේ හබරකඩ ප්‍රදේශයේදී 2026.11.09 වන දින සන්ධ්‍යා කාලයේ ගොඩගම දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක එම දෙසටම ධාවනය වූ යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ අර්තිගල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුරට සම්බන්ධ ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය

Share.
Leave A Reply