• ගොවීන්ගේ හඬට කන් නොදුන් ආණ්ඩුවේ වංචා-දූෂණ හෙළිදරව් කරන්න පක්ෂ නායකයින් මහපාරට
• “අවුරුදු දෙකක් ගියත් එක අලුත් නඩුවක් නැහැ, අල්ලපු හොරෙකුත් නැහැ” – තිස්ස අත්තනායක ගහපු බඩු බිම දමයි
• ගල්අඟුරු වංචාවෙන් බිලියන 15ක පාඩුවක්; කන්ටේනර් 323ක අභිරහස තවමත් අඳුරේ!
වත්මන් ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව විසින් ලබාදුන් බොරු පොරොන්දු සහ සිදුකරමින් පවතින දැවැන්ත දූෂණ, වංචා හා අසාර්ථක පාලනයට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ දැවැන්ත ජාතික වැඩසටහනේ දෙවන අදියර පොළොන්නරුව දිස්ත්රික්කයෙන් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය (SJB) තීරණය කර ඇත.
අද (19) සමගි ජන බලවේග ප්රධාන කාර්යාලයේ පැවැති විශේෂ මාධ්ය හමුවකට එක්වෙමින් පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු අමාත්ය තිස්ස අත්තනායක මහතා ප්රකාශ කළේ, එළඹෙන ඔක්තෝබර් 31 සහ නොවැම්බර් 01 යන දිනවලදී පොළොන්නරුව දිස්ත්රික්කයේ පළාත් පාලන කොට්ඨාස 99ම ආවරණය වන පරිදි ජනහමු 99ක් පවත්වන බවයි. සජබ නායක සජිත් ප්රේමදාස මහතා සහ මහලේකම් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් මෙයට නායකත්වය දෙති.
ගොවි ජනතාවට කළ අගතියට පොළොන්නරුවෙන් උත්තර!
පසුගිය කාලය පුරාම දැවැන්ත අර්බුදයකට මුහුණ දුන් ගොවි ජනතාවගේ හඬට කිසිදු සේවයක් කිරීමට ආණ්ඩුව අසමත් වූ බවත්, ගොවීන් වෙනුවෙන් පෙනී සිට බලයට පත්වුණු ආණ්ඩුව අද ගොවියා අමතක කර ඇති බවත් අත්තනායක මහතා චෝදනා කළේය. “අවුරුදු දෙකයි රට සුවයි” කියමින් ජනාධිපතිවරයා රට පුරා ගියද, ජනතාවට දැනෙන්නේ දැඩි අප්රසාදයක් සහ ආණ්ඩුවේ අසාර්ථකභාවය බව හෙතෙම සඳහන් කළේය.
“බොරුවෙන් ඇදන් ගිය නඩු ගොනු – කිසිදු අලුත් නඩුවක් නැහැ”
හොරකම් නැවැත්වූ බවටත්, වංචාකාරයින්ට දඬුවම් කරන බවටත් ප්රචාරය කළද, මෙම ආණ්ඩුව යටතේ කිසිදු අලුත් නඩුවක් පවරා නොමැති බව පාර්ලිමේන්තු විවාදයන්හිදී පවා තහවුරු වී ඇතැයි හිටපු අමාත්යවරයා පෙන්වා දුන්නේය. දැනට විභාග වන නඩු සියල්ලම 2015-2019 කාලසීමාවේ පවරන ලද නඩු වන අතර, ආණ්ඩුවේ කයිවාරු පදනම් විරෝධී බව දැන් පැහැදිලි වී තිබේ.
බිලියන 15ක ගල්අඟුරු හොරකම සහ කන්ටේනර් 323ක අභිරහස
වත්මන් ආණ්ඩුව යටතේ සිදුවූ දැවැන්තම වංචාව ලෙස ගල්අඟුරු ගෙන ඒමේදී සිදුවූ රුපියල් බිලියන 15ක (කෝටි 1,500ක) පාඩුව පෙන්වා දුන් අත්තනායක මහතා, විදුලිබල අමාත්යවරයා පවා පාර්ලිමේන්තුවේදී මෙය පිළිගෙන ඇති බව කීය. එමෙන්ම පරීක්ෂාවකින් තොරව පිටකළ කන්ටේනර් 323 තුළ තිබුණේ මොනවාදැයි මෙතෙක් හෙළි කර නොමැති අතර, එමගින් රටට සිදුවූ පාඩුව තක්සේරු කිරීමටවත් ආණ්ඩුව අපොහොසත් වී ඇත.
නොරොච්චෝල අක්රියයි – විදුලි අර්බුදයක් මඟ එයි!
ලංකාවේ විදුලි අවශ්යතාවයෙන් 60%ක් සපයන නොරොච්චෝල විදුලි බලගාරය සම්පූර්ණයෙන්ම අක්රිය වී ඇති අතර, බාල ගල්අඟුරු භාවිතය නිසා යන්ත්ර සූත්රවලට සිදුවූ හානිය මීට හේතුවී ඇති බව පැවසූ ඒ මහතා, මේ හරහා නැවතත් ඩීසල් මාෆියාවට පාර කපා දී ඇති බවට දැඩි ලෙස චෝදනා කළේය.
තවද තායිලන්තයේ නියෝජ්ය අග්රාමාත්යවරියගේ ලංකා සංචාරයේදී සිදුවූ රාජ්ය තාන්ත්රික නොසැලකිල්ල සහ මින්තලේ පුදබිම සම්බන්ධයෙන් ආණ්ඩුව දැක්වූ අමනෝඥ පිළිවෙතද දැඩි ලෙස විවේචනය කළ තිස්ස අත්තනායක මහතා, ආණ්ඩුවේ අදක්ෂ පාලනය හමුවේ රට හමුවේ ඇති අභියෝගයන්ට එරෙහිව ජනතාව සමඟ එකතුවී සමගි ජන බලවේගය ඉදිරියටම යන බව වැඩිදුරටත් අවධාරණය කළේය.

