බෝනොවන රෝග ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානතම අභියෝගයයි.

කලින් හඳුනා ගැනීමෙන් ජීවිත බේරා ගැනීමට පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කේන්ද්‍ර කරගත් නව ප්‍රවේශයක්.

අවශ්‍ය ඖෂධ, උපකරණ සහ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජයේ පූර්ණ සූදානම.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය බෝනොවන රෝග බවත්, මෙරට පිළිකා රෝග හේතුවෙන් සිදුවන සමස්ත කාන්තා මරණ අතරින් 27% කටම වගකියනු ලබන්නේ පියයුරු පිළිකාව බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දිනකට මෙරටින් නව පියයුරු පිළිකා රෝගීන් 15 ත් 18 ත් අතර සංඛ්‍යාවක් අලුතින් හඳුනාගන්නා බවයි.

ඔක්තෝම්බර් මාසයට යෙදෙන පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය නිමිත්තෙන් “ජීවිත බේරා ගැනීමට පා ගමනක් – Walk for a Cause. Walk to Save Lives!” තේමාව යටතේ කළුතර නගරයේදී පැවැති ජනතාව දැනුවත් කිරීමේ පා ගමන සහ ප්‍රධාන උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.

කලින් හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි

මෙම අභියෝගාත්මක තත්ත්වයෙන් ජනතාව බේරා ගැනීම සඳහා රෝග කලින් හඳුනා ගැනීම සහ කඩිනමින් ප්‍රතිකාර ආරම්භ කිරීම ප්‍රමුඛ වන බව හෙතෙම අවධාරණය කළේය. මේ සඳහා ඖෂධ, මූල්‍ය ප්‍රතිපාදන සහ යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව, පවුල් සෞඛ්‍ය සේවිකාවන් (FHW) සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) හරහා පුද්ගලයා සහ කුඩා කණ්ඩායම් කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවා ප්‍රවේශයකට යොමු වීමේ වැදගත්කම ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

“බියකින් හෝ ප්‍රමාදයකින් තොරව වෛද්‍ය සහය ලබා ගැනීමට අපේ කාන්තාවන් දිරිමත් කළ යුතුයි. බෝනොවන රෝගවලින් පුරවැසියන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය සියලු මූල්‍ය ප්‍රතිපාදන, උපකරණ සහ ඖෂධ ලබා දීමට රජය සූදානම්,” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය සහ ස්වේච්ඡා අංශ එක්වූ ජාතික මෙහෙයුමක්

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ පිළිකා රෝග මර්දන ඒකකයේ “ප්‍රාර්ථනා සහන සංගමය” සහ ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (SLCO) එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන කළුතර බෝධිය රථගාල අසලින් ආරම්භ වී දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා ගමන් කළේය. අනතුරුව එහි ශ්‍රවණාගාරයේදී නාට්‍යානුසාරයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ද පැවැත්විණි.

රෝගීන්ට මානසික සුවපහසුව සහ මනුෂ්‍යත්වය පිරුණු වටපිටාවක් සකස් කරමින් අනෙකුත් රෝහල්වලට ද කදිම ආදර්ශයක් සපයන කළුතර ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ සේවය ද මෙහිදී අමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය.

මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, නන්දන පද්මකුමාර, දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත්, බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අජිත ද සොයිසා, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චන්දන මුරගේ, කළුතර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා මධුභාෂිනී කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පාසල් දරුවන් සහ ප්‍රජා නායකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply