152 වැනි ලෝක තැපැල් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සංවිධානය කළ මෙරට 57 වැනි සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කොෂල්‍යා ආරියරත්න සහ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් අද දින (09) අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. මෙවර විශ්ව තැපැල් සංගමය තැපැල් දින තේමාව ලෙස “එකම තැපැල් ජාලයක්, අනන්ත වූ හැකියාවන්” යන තේමාව තෝරා ගෙන ඇත. වසර 227 කට වඩා දීර්ඝ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා තැපැල් සේවය, අප රටේ පැරණිතම සන්නිවේදන මාධ්‍යයන් අතර ප්‍රධාන තැනක් ගනු ලබයි. සම්ප්‍රදායෙන් ඔබ්බට යමින් නව විශ්ව තැපැල් ක්‍රමෝපායන් හා බද්ධ වෙමින් මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුව සාර්ථක පියවරක් ඉදිරියට තබා ඇත. මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, රජය පසු ගිය වසර 02 ක තුළ ශ්‍රී ලංකා තැපෑල නගා සිටුවීම වෙනුවෙන් අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමටත්, මානව සහ භෞතික සම්පත් සංවර්ධනය, නවීන තාක්ෂණය සහ නවීකරණය සඳහා පියවර ගත් බවයි. ඒ අනුව ලබා දුන් පහසුකම් පරිහරණය කරමින් ලබා දී ඇති ඉලක්කයන් සම්පුර්ණ කිරීම තැපැල් නිලධාරීන්ගේ වගකීමක් බව ද පැවසී ය. ඒ අනුව මෙවර රුපියල් මිලියන 15,000ක ඉලක්කයකට යා හැකි බවත්, දැනට රුපියල් මිලියන 21,000ක පමණ පුනරාර්වතන වියදමක් පවතින බැවින් රුපියල් මිලියන 6000ත් – 7000ත් අතර පරතරය පියවා ගැනීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය තැපැල් සේවාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය ඉදිරියටත් අවශ්‍ය නායකත්වය ලබාදෙන බවත්, ඉදිරි ඉලක්ක සාක්ෂාත් කර ගනිමින් මීළඟ 153 වන තැපැල් දිනය මීටත් වඩා ජයග්‍රහණ සහිතව සැමරීමට කටයුතු කළ යුතු බවත් පැවසු අමාත්‍යවරයා, මෙතෙක් ලබා ගත් සියලු ජයග්‍රහණ වෙනුවෙන් සමස්ත තැපැල් කාර්‌ය මණ්ඩලයට සුබ පැතුම් පිරිනැමී ය.ඉන් අනතුරුව අදහස් දැක්වූ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මැතිනිය, තැපෑල අපට ඉතා සමීප සන්නිවේදන මාධ්‍යයක් බවත්, එය නව තාක්ෂණය හා බද්ධ වෙමින් සුහුරු සේවාවක් බවට පත්වෙමින් තිබෙන බවත් ප්‍රකාශ කළා ය. අමාත්‍යතුමා ප්‍රමුඛ රජය තැපෑල ගොඩනැංවීම සඳහා විශාල මෙහෙවරක් ඉටු කරන අතර, විශ්ව තැපැල් සංගමය මඟින් ලබා දී ඇති අරමුදල් හරහා පරිගණක හා මුද්‍රණ යන්ත්‍ර ලබා දී ඇති බවත්, මෙම වසරේදී විද්‍යුත් යතුරු පැදි 169ක් ලබාදීමට කටයුතු කරන බවත් එතුමිය සඳහන් කළා ය. තැපැල් සේවාවේ ප්‍රතිඥාව පරිදි අදට වඩා හොඳ තැපැල් සේවාවක් හෙට දිනට ලබා දෙමින්, නව්‍යකරණය වූ තැපැල් සේවාවේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට සමස්ත කාර්ය මණ්ඩලය එක්ව කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා කැපවන සැමට සුබ පතන බවත් එතුමිය වැඩිදුරටත් පැවසුවා ය. මෙහිදී තැපැල්පති රුවන් සත්කුමාර මහතා ද අදහස් දැක්වූ අතර, 152 වන ලෝක තැපැල් දින සැමරුම නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් නිකුත් කරනු ලබන සමරු මුද්දරය සහ මුල්දින කවරය නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි. එමෙන් ම තැපැල් සේවාවේ ආදායම් ප්‍රවර්ධනය සඳහා දායක වූ තැපැල් කාර්යාල, පෞද්ගලික හා රාජ්‍ය ආයතනවල සේවා ඇගයීම්, කාර්යක්ෂම කාර්යාල සඳහා මෙන් ම පාසල් දරුවන් වෙනුවෙන් පැවැත්වූ තරගවල ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග සහ ඇගයීම් තිළිණ ප්‍රදානය ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, තැපැල්පති රුවන් සත්කුමාර මහතා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීහු, නියෝජ්‍ය තැපැල්පතිවරු සහ පාසල් දරු දැරියෝ ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.

Share.

Comments are closed.