රුපියල් 10,000ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වැල්ලවාය අඩවි වන කාර්යාලයට අනුබද්ධ බුත්තල බීට්ටු වන කාර්යාලයේ සේවය කරන වන ක්ෂේත්‍ර සහකාරවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2026 ඔක්තෝබර් 08 වැනිදා පස්වරු 7.39ට පමණ බුත්තල බස් නැවතුම්පොළේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හේවා ලුණු විලගේ සනත් කුමාර නමැති වන ක්ෂේත්‍ර සහකාරවරයෙකි.
මාසිකව රුපියල් 10,000ක මුදලක් ඉල්ලා ඇති බවට චෝදනා
පැමිණිලිකරු විසින් හේන් වගා කරන දේවාලමංකඩ ප්‍රදේශයේ පිහිටි අක්කර තුනක පමණ රජයේ ඉඩමක අනවසරයෙන් ගස් කපා වගා කිරීම සම්බන්ධයෙන් මෙම සිද්ධිය වාර්තා වී තිබේ.
අදාළ කටයුතු සම්බන්ධයෙන් නඩු පැවරීමකින් තොරව අඛණ්ඩව එම ඉඩමේ හේන් වගා කටයුතු කරගෙන යාමට අවස්ථාව සලසා දෙන බව පවසමින් සැකකරු අවස්ථා කිහිපයකදී මුදල් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.
එමෙන්ම, ඉදිරියට ද එම කටයුතු කරගෙන යාමට ඉඩ සලසා දීම සඳහා මාසිකව රුපියල් 10,000 බැගින් මුදල් ඉල්ලා ලබාගෙන ඇති බවට ද චෝදනා එල්ල වී තිබේ.
ඒ අනුව, 2026 ඔක්තෝබර් මාසයට අදාළව රුපියල් 10,000ක මුදලක් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

