ලෝක බිත්තර දිනයට සමගාමීව බිත්තරවල පෝෂණ ගුණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (09) කිඹුලාවල සමනල උත්සව ශාලාවේදී පැවැත්විණි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ මඟපෙන්වීමෙන් පැවැති මෙම වැඩසටහනට කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ. පාසල් සිසුන් සහ ගැබිනි මව්වරුන් ඉලක්ක කරගනිමින් බිත්තරවල පෝෂණීය වටිනාකම හා ඒ සම්බන්ධ මිථ්‍යා මත පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ද මෙහිදී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, සමබල ආහාර වේලක අත්‍යවශ්‍ය අංගයක් වන බිත්තර පහසුවෙන් ලබාගත හැකි ප්‍රෝටීන් ප්‍රභවයක් බවයි. බිත්තර පරිභෝජනය පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය ඉහළ නැංවීමත්, පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ආහාර වේලට බිත්තරයක් එක් කිරීමේ වැදගත්කමත් ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, රටේ බිත්තර නිෂ්පාදනය ඉහළ ගොස් ඇති පසුබිමක ජනතාව අතර බිත්තර පරිභෝජනය තවදුරටත් වැඩි කිරීමේ අවශ්‍යතාව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

