පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීමට (ඇරපිය කිරීමට) පියවර ගැනීම සම්බන්ධයෙන් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත විශේෂ නිල ලිපියක් යොමුකර තිබේ.
එම ලිපිය මගින් පෙන්වා දෙන්නේ, අධිකරණය විසින් ලබාදී ඇති තීන්දුව පිළිබඳව සංඝසභාවේ කිසිදු විරෝධයක් නොමැති අතර අධිකරණයේ උත්තරීතරභාවය සම්පූර්ණයෙන්ම පිළිගන්නා බවයි.
නමුත් භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමේ සම්පූර්ණ අයිතිය පවතින්නේ අදාළ සංඝසභාවට සහ මහානායක හිමිපාණන් වහන්සේලාට පමණක් බවත්, විනය පිටකයට අනුව උන්වහන්සේ පාරාජිකා වූ භික්ෂුවක් ලෙස තීරණය කර නොමැති බැවින් උන්වහන්සේට බන්ධනාගාරය තුළදී මෙන්ම පිටතට රැගෙන එන අවස්ථාවලදීද සිවුර පිටින්ම පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙසත් එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
එමෙන්ම මෙම ලිපියේ පිටපත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා වෙතද යොමුකර ඇත
