සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිදුවූවා යැයි කියන කෝටි ගණනක මූල්‍ය වංචා, රාජ්‍ය දේපළ අවභාවිත සහ පද්ධතිමය කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය උපාලි පන්නිල සහ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගලට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කළ බව සමෘද්ධි ව්‍යාපාරය සුරකීමේ සංවිධානයේ සභාපති එච්.එම්.පී. හේරත් පවසයි.

KP-9868 නිල රථයට මසකට ලීටර් 170ක ඉන්ධන මුදල් ලබාගනිමින්, PE-0923, KJ-7544 සහ NB-0156 යන සංචිත වාහන භාවිත කරමින් අත්තිකාරම් වංචා සිදුකිරීමත්, ADB සහ ලෝක බැංකු ණය මුදල්වලින් අංක 007259 දරණ ඉන්ධන ඇණවුම්පත් මගින් අසීමිත ලෙස ඉන්ධන ලබාගැනීමත් පිළිබඳව තොරතුරු හෙළිව තිබේ.

2026.06.26 සිට 28 දක්වා බදුල්ලේ පැවැති ’05 අවුරුදු සැලැස්ම’ වෙනුවෙන් රුපියල් මිලියන 05කට ආසන්න මුදලක් නාස්ති කිරීම, කාර්යාල උපකරණ සඳහා මිලියනයකට අධික මුදලක් වැය කිරීම, වසර 30ක් පැවැති සමෘද්ධි බැංකු 1,097ක මුදල් පද්ධතිය සහ S1.1 ගිණුම් මෘදුකාංග ක්‍රියාවලිය කඩාකප්පල් කිරීම සහ නිලධාරීන් 100කට වැඩි පිරිසක් අත්තනෝමතික ලෙස පීඩාවට පත්කිරීම පිළිබඳවද විමර්ශන ඉල්ලා ඇත.

මෙම අක්‍රමිකතාවලට එරෙහිව ‘ සමෘද්ධි ව්‍යාපාරය සුරකීමේ සංවිධානය’ සහ ‘ස්වාධීන යුක්තිය උදෙසා අපි’ එකමුතුව විමර්ශන කඩිනම් කරන ලෙස අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාගෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටී.

Share.
Leave A Reply