ලංකාවේ සත්ත්ව පාරාදීසය යනු හුදෙක් අලි ඇතුන්ට පමණක් සීමා වූවක් නොවේ. මහපොළොව හුස්ම ගන්නා නිහඬ තුරුලතාවන්ගේ පටන්, අහස් කුස පියඹන පක්ෂීන්, දිය යට කිමිදෙන මත්ස්‍යයන් මෙන්ම මහවනය සලිත කරවන දැවැන්තයන් දක්වා මේ සොබාදහමේ ස්පන්දනය වන සෑම ප්‍රාණයකටම ඇත්තේ වෙන්කළ නොහැකි එකම ජීව උරුමයක්. අදට යෙදනෙ ලෝක සත්ව දිනයේ දී සතුන්ගේ අයිතිවාසිකම් සහ සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් වන සතා සීපාවාගේ සුරක්ෂිතතාව, සුබසාධනය සහ නිදහස තහවුරු කිරීමට පරිසර අමාත්‍යංශය අනුබද්ධ සියලු ආයතන වගවීමෙන් කටයුතු කරනු ලබනවා.
“තිරසර ජෛව ගෝලයක් – සදාහරිත ජීවිතයක්” යන නව රජයේ ප්‍රතිපත්තිමය ප්‍රවේශය තුළ, ගසක කොළයක පටන් සියලු සතා සීපාවාගේ ජීවත්වීමේ අයිතිය රැකගැනීමේ පරම වගකීම අප භාරගෙන ඇත්තේ හුදු සංකල්පයකින් නොව, බිම් මට්ටමේ ප්‍රායෝගික මෙහෙයුමක් ලෙසින්.
අපට අවශ්‍ය වන්නේ හුදෙක් තෝරාගත් එක් සතෙකු පමණක් සුරැකෙන හුදකලා උත්සාහයක් නොවේ. මහවනයේ ගස්වැලේ සිට දිය යට පිහිනන කුඩා මත්ස්‍යයා දක්වා සමස්ත ජීව පවුලටම බියෙන් හා සැකයෙන් තොරව ජීවත්විය හැකි, සැබෑ සදාහරිත සහජීවනයක්.
අප මේ වන විටත්,
• දුර්ලභ දිය යට ජීවයට නිල රැකවරණය: ගොඩබිම් ජීවීන් පමණක් නොව, ශ්‍රී ලංකාවට ආවේණික වූ, දැඩි වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින අතිශය දුර්ලභ “බන්දුල පෙතියා” මත්ස්‍යයාගේ ස්වාභාවික වාසස්ථාන කලාපය නිල වශයෙන් “අභයභූමියක්” බවට පත් කරමින් උන්ගේ අනාගත පැවැත්ම තහවුරු කර තිබෙනවා.
• නිදහස් අලි මංකඩ: වන අලින්ගේ සාම්ප්‍රදායික සංචරණ අයිතිය තහවුරු කරමින් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගත් වැටහිරකන්ද, හදපානාගල සහ කොහොලංකල අලි මංකඩවල් නිල වශයෙන් ගැසට් මඟින් නිදහස් කළ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලි මංකඩ විවෘත කිරීමේ කටයුතු ද කඩිනමින් සිදු කෙරේ.
• වන අභ්‍යන්තර සුපෝෂණ කලාප: වන අලින් ගම්වැදීම වැළැක්වීමේ විද්‍යාත්මක පියවරක් ලෙස කලාවැව හා තබ්බෝව වැව් ආශ්‍රිත ආක්‍රමණශීලී ශාක ඉවත් කර නව තණපිටි නිර්මාණය කර ඇත. ලංකාවේ දෙවැනි විශාලතම වනාන්තරය වන නිල්ගල ඇතුළු “වනස්පති” ජාතික වැඩසටහන ඔස්සේ වන අභ්‍යන්තර ආහාර හා ජල මූලාශ්‍ර ප්‍රතිසංස්කරණය කිරීම නිසා අලින් රක්ෂිත තුළම රැඳී සිටීම ඉහළ ගොස් තිබේ.
• දුම්රිය අනතුරු වළකන නූතන තාක්ෂණය: වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීමට උතුරු, මන්නාරම, ගල්ඔය-ත්‍රිකුණාමලය සහ ගල්ඔය-මඩකලපුව දුම්රිය මාර්ග දෙපස විශේෂ සංඥා පුවරු සවි කර ඇති අතර, දුම්රිය එන්ජින් සඳහා නවීන තාක්ෂණික කැමරා පද්ධති (Thermal/Terminal Cameras) සවි කිරීම ආරම්භ කර ඇත.
• ශක්තිමත් ක්ෂේත්‍ර බලඇණියක් සහ ජංගම රෝහල්: අලි-මිනිස් ගැටුම පාලනයට හා අලි වැට නඩත්තුවට සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් 5,000ක් සහ බහුකාර්ය සංවර්ධන නිලධාරීන් එක්කර ගනිමින් මානව සම්පත හා වාහන පහසුකම් සවිබල ගන්වා ඇත. එසේම, රෝගී හා තුවාල ලබන වන අලින්ට ක්ෂණික ප්‍රතිකාර සැලසීමට අනුරාධපුර උලුක්කුලම කේන්ද්‍ර කරගත් ප්‍රථම වන අලි ජංගම රෝහල නුදුරේදීම ස්ථාපිත කෙරේ.
• ආසියාවේ ප්‍රථම “නිදහස් අලි අරණ”: පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේදී මද කිපුණු අලි ඇතුන් දම්වැල්වලින් බැඳ තැබීමේ ක්‍රමවේදයට තිත තබමින්, ඔවුන්ට ස්වාභාවික පරිසරයක නිදහසේ හැසිරීමට ඉඩ සලසන ඓතිහාසික “නිදහස් අලි අරණ” විවෘත කර ඇත.
• හීලෑ අලි ඇතුන්ගේ සුබසාධන නියාමනය: සංස්කෘතික හා ආගමික කටයුතුවලදී අලි ඇතුන්ගේ සුභසාධනය හා නීතිමය ආරක්ෂාව තහවුරු වන පරිදි ”2026 ඇතුන් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර දීම” පිළිබඳ රෙගුලාසි සමාලෝචනයට අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ කමිටුවක් පත් කර කඩිනම් නෛතික විසඳුම් සකස් කෙරෙමින් පවතී.
හුස්ම ගන්නා තුරුලතාවේ සිට මහවනයේ සැරිසරන වනජීවියා දක්වා මේ මිහිතලයේ සමස්ත සජීවී පැවැත්මටම බියෙන් හා සැකයෙන් තොරව නිදහසේ ජීවත්වීමේ අයිතිය ඇත. මිනිසාත් සොබාදහමත් අතර ගැටුම වෙනුවට සංවේදී සහජීවනයක් ගොඩනඟන මෙම ජාතික මෙහෙවර සාක්ෂාත් කර ගැනීමට සියලු විද්වතුන්ගේ, නිළධාරීන්ගේ සහ සමස්ත පුරවැසියන්ගේ සක්‍රීය දායකත්වය අපේක්ෂා කරමු.

