ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතු ‘චැනල් අයි’ (Channel Eye) නාලිකාවේ ගුවන් කාලය, රාජ්‍ය ආරක්ෂක නිෂ්කාශ පවා අත්හිටුවා තිබූ පෞද්ගලික සමාගමක් වෙත අනිසි ලෙස බදු දීමෙන් රජයට විශාල මූල්‍ය පාඩුවක් සිදු කර අයුතු වාසි සැලසීමේ සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් අක්කර 25ක සවිස්තරාත්මක සාක්ෂි ලේඛන ද සහිතව මෙම පැමිණිල්ල යොමු කර තිබේ.
ආරක්ෂක තර්ජනයක් ඇති සමාගමකට රජයේ නාලිකාව පවරා දීලා!
පැමිණිල්ලේ සඳහන් පරිදි, මෙම ගනුදෙනුව සඳහා යොදාගෙන ඇති VIS Broadcasting (Pvt) Ltd සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට යෝජිත සාමාජිකයින් දෙදෙනෙකුට ආරක්ෂක නිෂ්කාශන ලබා දිය නොහැකි බවත්, එම සමාගමේ TV සම්ප්‍රේෂක අනුමැතිය තාවකාලිකව අත්හිටුවන බවත් ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2019 වසරේදී ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ලිඛිතව දැනුම් දී තිබුණි. එසේ තිබියදීත්, රූපවාහිනී සංස්ථාවේ බලධාරීන් විසින් රජයේ නාලිකාවක ගුවන් කාලය අදාළ සමාගම වෙත බදු දීමට කටයුතු කර ඇත.
ටෙන්ඩර් නීති උල්ලංඝනය කරමින් කළ අක්‍රමිකතාව2023 වසරේදී රූපවාහිනී සංස්ථාව විසින් කැඳවන ලද අභිලාෂ ප්‍රකාශ කිරීමේ (EOI) ක්‍රියාවලියට ලංසුකරුවන් දෙදෙනෙකු ඉදිරිපත්ව සිටියදී, එම ලංසුකරුවන්ගෙන් බැහැරව EOI එකක්වත් ඉදිරිපත් නොකළ VIS Broadcasting / ලයිකා සමූහය වෙත මෙම බදු දීම සිදුකර ඇති බව පැමිණිල්ලෙන් හෙළිවේ.
එපමණක් නොව, විද්‍යුත් ටෙන්ඩර් ක්‍රියාවලියකදී මසකට රුපියල් මිලියන 200 දක්වා ඉහළ යා හැකිව තිබූ ගුවන් කාලය, එහි අවම සීමාව වූ රුපියල් මිලියන 25 බැගින් අඩුවට බදු දී ඇති බවත්, ගිවිසුමේ සඳහන් රුපියල් මිලියන 100ක පූර්ව ගෙවීම වෙනුවට ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන 50ක් පමණක් බවත් සඳහන් වේ.
නෙත්‍රා ටීවී සංඛ්‍යාතත් ලබා දීලා? මුදල් විශුද්ධිකරණ සැකයක්!චැනල් අයි නාලිකාවේ සංඛ්‍යාත මුළු රටම ආවරණය නොවන බැවින්, ගිවිසුමට පිටින් මුළු රටම ආවරණය වන ‘නෙත්‍රා ටීවී’ (Nethra TV) සංඛ්‍යාත මෙම සමාගම වෙත ලබා දී ඇති බවට ද තොරතුරු හෙළි වී ඇත.
තවද, මෙම ගනුදෙනුව සඳහා ලැබුණු මුදල්වල ප්‍රභවය සහ ලයිකා සමූහයේ හිමිකාරිත්ව ව්‍යුහය හරහා මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලියක් සිදුව තිබේද යන්න පිළිබඳව ද දැඩි සැකයක් මතුව තිබේ.
විමර්ශනයට ලක්වන පාර්ශ්වයන්2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ පහත පාර්ශ්වයන්ට එරෙහිව පූර්ණ විමර්ශනයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස පැමිණිලිකරුවෝ ඉල්ලා සිටිති.
එවකට ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා (අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව මෙම කටයුත්තට උපදෙස් දීම හා අනුමැතිය දීම).
එවකට රූපවාහිනී සංස්ථාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් ඩොක්ටර් ප්‍රසාද් සමරසිංහ මහතා. රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ප්‍රසම්පාදන කමිටුව.
VIS Broadcasting (Pvt) Ltd සහ ලයිකා සමූහයේ (Lyca Group) අධ්‍යක්ෂවරුන් හා ප්‍රතිලාභී හිමිකරුවන්. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද 2023 වසරේදී පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27(2) යටතේ මෙම ගනුදෙනුව නීති විරෝධී බවට චෝදනා කර තිබූ අතර, මෙම මහා පරිමාණ දූෂණයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කර රජයට සිදු වූ පාඩුව අය කරගන්නා ලෙස මහජනතාව ද බලකර සිටිති.

