පවුල් 33%කට ආහාර හිඟයක් – තිස්ස අත්තනායක
ලංකාවේ වත්මන් ආර්ථික හා සමාජයීය තත්ත්වය සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද නවතම මැදි කාලීන වාර්තාව මඟින් රටේ පවතින බරපතල අර්බුදය පැහැදිලි වන බවත්, ආණ්ඩුව දත්ත වසන් කරමින් ජනතාව රවටන බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ ලෝක බැංකු වාර්තාවට අනුව රටේ සමස්ත ජනගහනයෙන් 65.6% ක් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී ඇති බවයි.
එමෙන්ම රටේ පවතින ආර්ථික පරිපාලනයේ අසාර්ථකත්වය හෙළිදරව් කරමින් පහත සඳහන් ප්‍රමුඛ දත්ත හා සංඛ්‍යාලේඛන ද ඔහු විසින් මාධ්‍ය හමුවේ තබා සිටියේය: ළමා මන්දපෝෂණය හා ආහාර සුරක්ෂිතතාව: වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය 21% කින් දුර්වල වී ඇති අතර, රටේ සමස්ත ජනගහනයෙන් 33% ක් (තුනෙන් එකක්) ප්‍රමාණවත් හෝ පෝෂණදායී ආහාර වේලක් ලබාගැනීමට නොහැකි ආහාර හිඟයකින් පෙළෙති.
උසස් අධ්‍යාපන සුදුසුකම්, ඩිප්ලෝමා හෝ උපාධි ලබා ඇති පිරිසගෙන් 43% ක් දැනට රැකියා විරහිතව පසුවෙති. ජනතාවගේ ණය බර සහ රන් භාණ්ඩ උගස් කිරීම: පවතින නැතිබැරිකම නිසා ජනතාව ජීවත් වීම සඳහා රන් භාණ්ඩ උගස් කිරීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, පසුගිය මාස 7 තුළ පමණක් උගස් කළ රන් භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි 15,000 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම, මධ්‍යම පන්තිය මුහුණ දෙන දැඩි ආර්ථික ගැටලුව පෙන්නුම් කරමින් ක්‍රෙඩිට් කාඩ්පත් (Credit Cards) හිඟ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 19.4 දක්වා වැඩි වී තිබේ.
පසුගිය මාස 3 තුළ පමණක් ආණ්ඩුව දේශීය හා විදේශීය ණය ගැනීම් මඟින් වාර්තාවක් තබා ඇති අතර, දේශීය ණය ගැනීම් රුපියල් බිලියන 19,971 දක්වා ඉහළ ගොස් ඇත.
තෙල් මිල පාලනය සහ සහනාධාර සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අත්තනායක මහතා, රුපියල් කෝටි 4,100 ක සහනාධාරයක් වෙන් කළ බව ප්‍රකාශ කළ ද එම සහනය මහජනතාවට නොලැබී තෙල් සමාගම් වෙත ගොස් ඇති බව චෝදනා කළේය.
සිංගප්පූරු වෙළඳපොළේ තෙල් බැරලයක් ඩොලර් 140-150 අතර පවතින විට කොළඹ වරායට ගොඩබාන තෙල් ලීටරයක පිරිවැයට වඩා අධික ලාභයක් තබාගෙන විකුණන බව ද ඔහු සංඛ්‍යාත්මකව පෙන්වා දුන්නේය
ඔක්ටේන් 92 පෙට්‍රල්: වරායට ගොඩබාන මිල රු. 292 ක් වුවද විකුණනු ලබන්නේ රු. 417 කටයි. ඔක්ටේන් 95 පෙට්‍රල්: වරායට ගොඩබාන මිල රු. 305 ක් වුවද විකුණනු ලබන්නේ රු. 475 කටයි. ලංකා ඩීසල්: වරායට ගොඩබාන මිල රු. 350 ක් වුවද විකුණනු ලබන්නේ රු. 392 කටයි. සුපර් ඩීසල්: වරායට ගොඩබාන මිල රු. 367 ක් වුවද විකුණනු ලබන්නේ රු. 528 කටයි. මෙම අතරමැදි ලාභය යන්නේ කාගේ සාක්කුවටද යන්නත්, ආණ්ඩුව අනුගමනය කරන තෙල් මිල සූත්‍රය කුමක්ද යන්නත් වහාම රටට හෙළිදරව් කරන ලෙස සමගි ජන බලවේගය වෙනුවෙන් තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවට අභියෝග කළේය.

