“කූට ඇටෝර්නි බලපත්‍රයක් භාවිතා කරලා කොටස් විකිණීමක් පිළිබඳ තිබුණු දෙවෙනි නඩුවෙනුත් අද දින මාව නිදොස් කොට නිදහස් කළා. ඇත්තෙන්ම මේ සම්බන්ධයෙන් නඩු දෙකක් වුණේ. එකම නඩුව දෙකට කඩලා මාව පීඩාවට පත්කිරීමේ අරමුණෙන් තමයි නඩු දෙකක් ගොනු කරලා තිබුණේ. 2025 මාර්තු මාසේ 23 වෙනිදා පළවෙනි නඩුවෙන් මාව නිදොස් කොට නිදහස් කරා. අද දින දෙවෙනි නඩුවෙනුත් මාව නිදොස් කොට නිදහස් කරා.

මාලිමා ආණ්ඩුවක් තිබියදී මට කිසිම දේශපාලන රජයේ තනතුරක් නොතිබියදී මේ නඩු දෙකෙන්ම නිදොස් කොට නිදහස් වීමට ලැබීම ගැන මං අතිශයෙන්ම සතුටට පත් වෙනවා. ඇත්තටම අපි දැක්කා පහුගිය කාලේ මාලිමාවේ ඩෝබි බලකාය මේ නඩුවෙන් මාව හිරේ දානවා කියලා සමාජ මාධ්‍ය පුරා වාසිබස් දොඩලා තිබුණා. නමුත් අවසානයේදී යුක්තිය ජය ගත්තා, සත්‍යය ජය ගත්තා.

ඒ නිසා තමයි ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’, ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම සුරකී. සත්‍යය කවදා හෝ ජය ගනී කියන කියමන ඇත්තක් බව අද සනාථ වුණා.

මගේ වසර 27ක දේශපාලන ජීවිතය පුරාවට හොරකමක්, මැරකමක්, සල්ලාලකමක් පිළිබඳ මට සතුරෙක්වත් චෝදනා නඟලා තිබුණේ නෑ. ඒ නිසා තමයි මට එරෙහිව පැමිණිල්ලක් කරන්න කිසිවෙක් ලංකාවෙන් සොයාගන්න බැරිව, ඔස්ට්‍රේලියානු අධිකරණය ඉදිරියේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කරපු, වංචාවලට වැරදිකරුවෙක් වුණු පුද්ගලයෙක්ව, වයසක සියයකෙනෙක්ව ලංකාවට ගෙනැල්ලා පැමිණිල්ලක් කිරීමට මගේ විරුද්ධවාදීන්ට සිදු වුණේ.

ඔහු අද නඩු තීන්දුවේදීම සඳහන් වුණු පරිදි, ඔහු තමන්ගේ බිරිඳගේ අත්සන පවා හොරට ගහලා අධිකරණයේ වැරදිකරුවෙක් බවට පත්වුණු වංචනිකයෙක්. ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පවා බොරු සාක්ෂි දීලා වැරදිකරුවෙක් වුණු බොරුකාරයෙක්. මේ අධිකරණයේදී තමන් කිව්වේ බොරු බවට අධිකරණය තුළදීම පිළිගත්තා.

අද විනිසුරුතුමිය විසින් ඉදිරිපත් කරපු පිටු 283ක නඩු තීන්දුව පුරාවටම තියෙන්නේ මේ පුද්ගලයා කෙතරම් බොරුකාරයෙක්ද, කෙතරම් දුරට අධිකරණය නොමඟ යවන්න උත්සාහ කළාද කියන එක සවිස්තරාත්මකව නඩුකාරතුමිය පැහැදිලි කරලා තියෙනවා.

නමුත් අවාසනාව කියන්නේ, තමන් කියන්නේ බොරුයි කියලා බ්‍රයන් ෂැඩික් විසින් අධිකරණය ඉදිරියේ පිළිගෙන තිබියදීත් තවදුරටත් නඩුව කරගෙන යාමට ආණ්ඩුව විසින් කටයුතු කිරීමයි. කෙසේ වෙතත්, අද මේ නඩුවේදී අපිට නිදොස් කොට නිදහස් වීමට පුළුවන් වුණේ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මැතිතුමා ඇතුළු දක්ෂ නීතිඥ කණ්ඩායමක් අපිට යුක්තිය ලබාදීමට සටන් කරපු නිසා.

ඇත්තෙන්ම එතුමන්ලා නොමිලේ මං වෙනුවෙන් පෙනී නොසිටියා නම් මේ යුක්තිය ඉටු කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ. නැතිනම් මේ චෝදනා දෙකට වසර 23ක සිරදඬුවමක් මට ලබාදීමට හැකියාව තිබුණා. මට දක්ෂ නීතිඥවරු මිත්‍රයෝ විදිහට ඉන්න නිසා මට අද නිදොස් කොට නිදහස් වෙන්න පුළුවන් වුණා. සාමාන්‍ය මනුස්සයෙකුට මේ වගේ බොරු චෝදනා ගාලා නඩුවක් දැම්මා නම් ඔහු සමහරවිට වසර 23ක් සිරදඬුවම් ලැබෙන්නටත් ඉඩ තිබුණා.

ඉතින් විශේෂයෙන්ම මේ නඩුව වෙනුවෙන් නොමිලේ පෙනී සිටිමින් මට ඒ නීති සහාය දක්වපු ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මැතිතුමා ඇතුළු සමස්ත නීතිඥ කණ්ඩායමටම මගේ ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.

ඒ වගේම ආණ්ඩුව විසින් අධිකරණය තමන්ගේ ග්‍රහණයට ලක් කර ගැනීමට දැවැන්ත උත්සාහයක් දරන වකවානුවක මට යුක්තිය ඉටු කිරීමට අමතරව අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මේ නඩු තීන්දුව ලබාදුන්නු විනිසුරුතුමියටත් මම හිස නමා ප්‍රණාමය පුද කරනවා.

ඒ වගේම මේක ඉතාම ද්වේෂසහගතව ගොනුකළ නඩුවක් බව නඩුකාරතුමිය තමන්ගේ නඩු තීන්දුවේ සඳහන් කරලා තියෙනවා. මේ අද මම නිදොස් කොට නිදහස් වුණත් මේ නඩුව නිසා වසර 11ක් මං දුක් වින්දා. දවස් 13ක් රක්ෂිත බන්ධනාගාරයේ හිටියා.

ඒ වගේම බ්‍රයන් ෂැඩික් තමන් කිව්වේ බොරුවක් බව පිළිගෙන තිබියදීත් මාධ්‍ය ආයතන දෙකක් තුනක් මට ‘හොරා’ යැයි කියමින්, ‘වංචනිකයා’ කියමින් අපහාස කළා. අද මම නිදොස් කොට නිදහස් වුණත් මට වෙච්ච වදහිංසා, මට සිදුවුණු අපහාස ආයෙත් හැරවෙන්නේ නෑ.

මේක ද්වේෂසහගත නඩු පැවරීමක් කියන එක අධිකරණය විසින්ම තීරණය කරලා තියෙන නිසා මේ රටේ දේශපාලනඥයන්, සමහර පොලිස් නිලධාරීන්, සමහර නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අල්ලගෙන මේ නීතිය අවභාවිතා කරන ආකාරය ගැන රටට හෙළිදරව් කරන්න ‘මගේ අවනඩුව’ නමින් මම ඉදිරියේදී පොතක් ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා.”

Share.
Leave A Reply