“මාව මහ ලේකම් ලෙස පිළිගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ නෑ” – දයාසිරි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්‍රියාමාර්ගය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, තමන් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම විභාගයට ගැනීමට කොළඹ පළාත්බද සිවිල් අභියාචනාධිකරණය තීරණය කර ඇති බව නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි.
කොළඹ දිසා අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට එරෙහිව තමන් ඉදිරිපත් කළ ඉල්ලීම අධිකරණය හමුවේ විභාගයට ගත් බවත්, එහිදී තමන් ඉල්ලා තිබූ අතුරු තහනම් නියෝගය පමණක් ප්‍රතික්ෂේප කළ බවත් ජයසේකර මහතා සඳහන් කරයි.
එම නඩුව වැඩිදුර විභාගය සඳහා 2027 ජනවාරි 08 වැනිදා කැඳවීමට අධිකරණය නියෝග කළ බවද ඔහු පවසයි.
තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පිළිගන්නා ලෙස ඉදිරිපත් කළ ඉල්ලීම කිසිදු අවස්ථාවක අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර නොමැති බව ජයසේකර මහතා අවධාරණය කර තිබේ.
තම පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ ගොනු කළ නඩුවේදී ලබාදුන් අතුරු තහනම් නියෝගයට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තම සාමාජිකත්වය යාවත්කාලීන කර ඇති බවද ඔහු සඳහන් කරයි.
මහ ලේකම් ධුරය සම්බන්ධ තීන්දුව දිසා අධිකරණයේ අවසානාත්මක තීන්දුවේදී ප්‍රකාශ කිරීමට විනිසුරුවරයා එම අවස්ථාවේදී තීරණය කර තිබූ බවද ඔහු පවසයි.
මේ අතර අධිකරණයක් නඩුවක් විභාගයට ගැනීමට තීරණය කිරීම “නඩුව ප්‍රතික්ෂේප කිරීමක්” ලෙස අර්ථකථනය කරමින් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම සම්බන්ධයෙන්ද ජයසේකර මහතා දැඩි විවේචනයක් එල්ල කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් නොමඟ යවමින් ඇතැම් පිරිස් අධිකරණ තීන්දු තම තනතුරු ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ට වාසිදායක ආකාරයෙන් අර්ථකථනය කිරීමට කටයුතු කරන බවටද ඔහු චෝදනා කරයි.
කෙසේ වෙතත්, අද ලබාදුන් අධිකරණ නියෝගයෙන් තමන් ඉදිරිපත් කළ පැමිණිල්ල ඉදිරියට විභාග කිරීමට අවස්ථාව ලැබී ඇති බවත්, ප්‍රතික්ෂේප වී ඇත්තේ අතුරු තහනම් නියෝගය ලබාදීමේ ඉල්ලීම පමණක් බවත් දයාසිරි ජයසේකර මහතා සිය මාධ්‍ය නිවේදනය මගින් අවධාරණය කර ඇත.

