ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවේ ප්‍රබල හඬ: “විශ්වාසය යළි ගොඩනැඟීමට වචන නෙවෙයි ක්‍රියාවයි අවශ්‍ය”   එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසිය අමතමින් විදේශ අමාත්‍ය විජිත හේරත් කළ ඓතිහාසික කතාව  

ගෝලීය අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ නව පරිවර්තනය ගැන විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රබල ප්‍රකාශයක්  

“අර්බුද හමුවේ වුවද මානුෂීයත්වයට මුල් තැන”: UN සමුළුවේදී ශ්‍රී ලංකාවෙන් ලෝකයටම පණිවුඩයක් !

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරයේ සමුළුව අමතමින්,ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යගරු විජිත හේරත් මහතා සිදු කළජාතික ප්‍රකාශය2026 සැප්තැම්බර් 28   ගරු සභාපතිතුමනි,

ගරු මහලේකම්තුමනි,

ගෞරවනීය ආරාධිතයිනි,

නෝනාවරුනි, මහත්වරුනි,   පළමුවෙන්ම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරයේ සභාපතිවරයා ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් ආචාර්ය කලීලුර් රහ්මාන් මැතිතුමාට මාගේ සුබ පැතුම් පිරිනැමීමට අදහස් කරනවා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, ඔබතුමාගේ වගකීම් ඉටු කිරීමේදී පූර්ණ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන අතරම, ඒ සඳහා අපගේ උපරිම සහාය ලබා දෙන බවට ද සහතික වෙනවා.   එසේම, 80 වන සැසිවාරය ඉතා දක්ෂ ලෙස මෙහෙයවීම සම්බන්ධයෙන් එම ධුරයේ මීට පෙර කටයුතු කළ ඇනලීනා බෙයා බොක් මැතිනිය වෙත ද අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කර සිටිනවා.   තවද, මහලේකම් ඇන්ටෝනියෝ ගුතේරස් මැතිතුමා සිය ධුර කාලය අවසන් කරන මෙම අවස්ථාවේ, එතුමාගේ නායකත්වය ද අගය කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.   ගරු සභාපතිතුමනි,   බොහෝ නියෝජිතායතනවලට අනුගත වීමට හෝ ප්‍රතිචාර දැක්වීමට නොහැකි තරම් ශීඝ්‍රයෙන් ලොව පුරා තීරණාත්මක වෙනස්කම් සිදු වෙමින් පවතිනවා. ලොව පුරා ජනතාව සිය නායකයින්ගෙන් සහ නියෝජිතායතන වලින් සුපැහැදිලි බවක්, අවංක භාවයක් සහ ක්‍රියාකාරීත්වයක් ඉල්ලා සිටිනවා.   මෙවර ප්‍රධාන විවාදයේ තේමාව වන, “විශ්වාසය යළි ගොඩනැගීම සහ පරිවර්තනය කළමනාකරණය කිරීම: සියලු දෙනා වෙනුවෙන් කැප වු එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” යන්න මෙම අභියෝගයේ හරය විදහා දක්වනවා.   විසඳුමක් නොමැති ගැටුම්, පවතින සම්පත් අභිබවා උත්සන්න වන මානුෂීය අර්බුද, නිරන්තරයෙන් සිදුවන දේශගුණික විපත්, පුළුල් වන අසමානතා සහ පාලන ක්‍රම වේදයන්ට වඩා වේගයෙන් ඉදිරියට යන තාක්ෂණික දියුණුව තුළින් විශ්වාසය පළුදු වීම පිළිබිඹු වෙනවා. ගෝලීය නියෝජිතායතන තමන් සේවය සැපයිය යුතු ජනතාවගෙන් වෙන්ව කටයුතු කරන බවට වන මතය වර්ධනය වීමට, මෙම කරුණු සමස්තයක් ලෙස ගත් කල, දායක වී තිබෙනවා.   ශ්‍රී ලංකාව මෙම යථාර්ථය ගැඹුරින් වටහාගෙන සිටිනවා. විශ්වාසය පළුදු වීමේ සහ සමාජ ගිවිසුම උල්ලංඝනය වීමේ ප්‍රතිවිපාකවලට මාගේ රට අතීතයේ බොහෝ අවස්ථා වලදී මුහුණ දී තිබෙනවා. වසර දෙකකට පෙර, අපගේ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සියලු ප්‍රජාවන් සහ සමාජ ස්ථරයන් නියෝජනය කරන ශ්‍රී ලංකාවේ ජනතාව, මෙම අභියෝග වලට විසඳුම් සෙවීමට සහ අර්ථවත් වෙනසක් ඇති කිරීමට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජයට ප්‍රබල ජනවරමක් ලබා දුන්නා. එතැන් පටන්, අපගේ රජය මූලික මට්ටමේ සිටම විශ්වාසය යළි ගොඩනැගීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරමින් සිටිනවා. අප විශ්වාසය ගොඩනඟන්නේ හුදෙක් වචන වලින් නොව ක්‍රියාවෙනි; එනම් ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල, වැරදි ක්‍රියාවන් හමුවේ සෘජුව පෙනී සිටීමට පෙන්වන විනයගරුක භාවය සහ ධෛර්යය තුළිනි. එබැවින්, ශ්‍රී ලංකාව ද ඓතිහාසික පරිවර්තනයකට සහ නව පිබිදීමකට ලක් වෙමින් පවතිනවා.   බටහිර ආසියාව ඇතුළු ලෝකයේ විවිධ ප්‍රදේශවල පවතින ගැටුම් සහ ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටුව වැනි දේශගුණික විපත් මධ්‍යයේ වුවද, 2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසු මාගේ රට සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ස්ථාපිත කර ගැනීමට සමත් වී තිබෙනවා. අද වන විට, ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ – මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයක් ලෙස නැවත වර්ගී කරණය කර ඇති අතර, ශ්‍රේණිගත කිරීමේ ආයතන ද මෙම ධනාත්මක ප්‍රවණතාව හඳුනාගෙන තිබෙනවා.   කෙසේ වෙතත්, මෙම වර්ධනයන් මගින්, ණය සහ බාහිර අභියෝගයන්ට ගොදුරු විය හැකි රටවල් මුහුණ දෙන අවදානම් සහ දුෂ්කරතා සම්පූර්ණයෙන්ම පිළිබිඹු නොකෙරේ. අසීරුවෙන් ළඟා කරගත් මෙම ස්ථාවරත්වය තහවුරු කර ගැනීම සඳහා අප ගෝලීය හවුල්කරුවන් සමඟ කටයුතු කරන අතරම, අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් මුහුණ දෙන දුෂ්කරතා විසඳීමේ දැඩි අවශ්‍යතාව පිළිබඳව අප නිරන්තරයෙන් අවධානයෙන් පසුවෙනවා.   ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ සිදු වූ දරුණුතම ස්වභාවික ආපදා අතුරින් එකක් වූ ‘දිට්වා’ සුළි කුණාටුව, අප රටේ ප්‍රදේශ කිහිපයකට දැඩි විනාශයක් සිදු කළා. මෙම ආපදාව හේතුවෙන් සිය ගණනක් ජිවිත අහිමි වූ අතර, මිලියන දෙකකට අධික ජනතාවක් ඉන් පීඩා වින්දා. එමගින්, ජනතාවගේ ජීවනෝපායන්ට බාධා එල්ල වූ අතර, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ද විනාශ වුනා.   එම ඛේදවාචකය අත් විඳ ඇති අප, හිමාලයානු ගංවතුර හේතුවෙන් නේපාලයේ සහ චීනයේ ජනතාවට එල්ල වූ අභියෝගය පැහැදිලිව වටහා ගත්තා. එහි වින්දිතයින්ට අපගේ ශෝකය පළ කිරීමට මා මෙම අවස්ථාව යොදා ගන්නවා.   දේශගුණික විපර්යාසවල දැවැන්ත මානව හා ආර්ථික පිරිවැය මෙම ඛේදජනක සිදුවීම් තුළින් පෙන්නුම් කරනවා. කණගාටුවට කරුණ නම්, ගෝලීය විමෝචනයට අවම වශයෙන් දායක වූ රටවල් විසින් එහි දරුණුතම ප්‍රතිවිපාක විඳිනු ලැබීමයි.   දේශගුණික බලපෑම සම්බන්ධ ක්‍රියාමාර්ග සඳහා වන ඉල්ලීම හුදෙක් ක්ෂණික ඉල්ලීමක් නොවේ. එයට දැනටමත් බොහෝ කල් ගත වී තිබෙනවා. දේශගුණික යුක්තිය හදිසි යථාර්ථයක් බවට පත්විය යුතුයි. අපගේ පර්ශ්වයෙන්, ශ්‍රී ලංකාව, 2030 වන විට සියයට 70ක පුර්නර්ජනනීය බල ශක්තිය සහ 2050 වන විට කාබන් උදාසීනත්වය අත්කර ගැනීමේ මාවතට පිවිසෙමින් සිටිනවා.   ගරු සභාපතිතුමනි,   දශක තුනක් පුරා පැවති දීර්ඝ ගැටුමෙන් අපගේ සියලුම ප්‍රජාවන්ට අතිවිශාල අලාභහානි සහ පීඩා සිදුවුනා. මීට වසර 17කට පෙර අවි ආයුධ සටන නිමා වුවද, එම ගැටුමෙන් ඇති වූ අතිමහත් පීඩාවන් තවමත් ඉතිරිව පවතින අතර, ඒවා සුවපත් කිරීම සඳහා තව බොහෝ දේ කළ යුතුව තිබෙනවා. එවැනි ඛේදවාචකයක් නැවත ඇති වීම වැළැක්වීමටත්, ජාතික සමගිය සහ ප්‍රතිසංධානය කරා යන මාවත ඔස්සේ ඉදිරියට ගමන් කිරීමටත්, අප අධිෂ්ඨාන කරගෙන සිටිනවා. මේ සම්බන්ධයෙන්, නොවිසඳී පවතින ගැටලු විසඳීම සඳහා අපගේ රජය, ජාතික නියෝජිතායතන ශක්තිමත් කරමින් සිටිනවා. පසුගිය වසර දෙක පුරාවටම, සියලු ආකාරයේ සහ ස්වරූප වලින් යුත් වර්ගවාදය සහ ආගමික අන්තවාදය ප්‍රතික්ෂේප කිරීමේ ස්ථාවරයේ අප නොසැලී රැඳී සිටිනවා.   වඩාත් ආරක්ෂිත, සියලු දෙනා ඇතුළත් වූ, එක්සත් මෙන්ම, විවිධත්වයේ සාරවත් බවින් වඩාත් ශක්තිමත් වූ ජාතියක් ගොඩනැගීම සඳහා අප නොපසුබටව අඛණ්ඩව කටයුතු කරනවා.   ගරු සභාපතිතුමනි,   ස්වාභාවික ආපදා හේතුවෙන් ඇතිවන ප්‍රතිවිපාක වලට අමතරව, වෙනත් බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද බටහිර ආසියාවේ සහ වෙනත් ප්‍රදේශ වල පවතින ගැටුම්වල දරුණු බලපෑමට මුහුණ දෙමින් සිටිනවා.   ඉන්දීය සාගරයේ වැදගත් සන්ධිස්ථානයක පිහිටි දුපත් රාජ්‍යයක් ලෙසත්, බටහිර ආසියාවේ විශාල සංක්‍රමණික සේවක ප්‍රජාවක් සේවය කරන රටක් ලෙසත්, මෙම තත්ත්වයන් අපට සෘජු ආරක්ෂක, ආර්ථික සහ සමාජීය බලපෑම් ඇති කරනවා.   මෙවැනි අභියෝගාත්මක කාලසීමාවන් තුළ පවා, ජාත්‍යන්තර නීතියට අදාළ සිය වගකීම් ඉටු කිරීමටත්, මානව ජීවිතයේ පාරිශුද්ධභාවය සහ මානව ගරුත්වය තහවුරු කිරීමටත් ශ්‍රී ලංකාව අඛණ්ඩව කටයුතු කර තිබීම පිළිබඳව මා සතුටට පත් වෙනවා.   ගරු සභාපතිතුමනි,   මෙම වසරේ මාර්තු මාසයේදී, අතිශය අස්ථාවර භූ-දේශපාලනික පසුබිමක් මධ්‍යයේ, ගැටුමට අදාළ පාර්ශ්වයකට අයත් නෞකාවක් අපගේ දේශසීමා ජල තීරය ආසන්නයේදී අනතුරට ලක්ව ඇති බවත්, එහි සිටි නාවිකයන් රැසකගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවත්, අප දැන ගත්තා. විවිධ සංවේදී කරුණු පිළිබඳව ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරමින් සහ අප සතුව තිබූ සීමිත ජාතික සම්පත් උපයෝගී කරගනිමින්, තුවාල ලැබූවන් සහ රෝගී වූවන් බේරා ගැනීමේ, ඔවුන්ව රැකබලා ගැනීමේ අසීරු කාර්යයක අප නිරත වුනා. එම කාර්යය අභියෝගාත්මක වුවද, අප තවත් සිය ගණනක් දෙනා බේරා ගැනීමට කටයුතු කළා. මිනිස් ජීවිත අනතුරේ පවතින බව දුටු අප, ජාත්‍යන්තර නීතිය සහ මානුෂීයත්වය පදනම් කරගෙන ක්‍රියා කළා. අපගේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගන්නා අතරම, අප සියල්ලටම වඩා ඉහළින් මානුෂීයත්වයට මුල් තැන ලබා දුන්නා. ජනාධිපති දිසානායක මැතිතුමා නැවත නැවතත් අවධාරණය කළ පරිදි, “මානුෂීයත්වය ආරක්ෂා කිරීමට අපි කිසි විටෙකත් පසුබට නොවන්නෙමු. මිනිස් ජීවිත ආරක්ෂා කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තිබේ නම්, ඕනෑම තත්වයක් යටතේ වුවද ඒවා ගැනීමට අප නොපැකිළෙන්නෙමු.”   ගරු සභාපතිතුමනි, ලෝකය හමුවේ අප ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ මෙවැනි ශ්‍රී ලංකාවක්; එනම්, ගැටුම් සහ දැඩි බෙදීම් පවතින අවස්ථා වලදී පවා මානුෂීයත්වයට ඉඩක් පවතින බව විශ්වාස කරන, විශාල හදවතක් ඇති කුඩා දූපත් රාජ්‍යයක්. ලෝකය තුළද එම ගුණාංගයම පිළිබිඹු වනු දැකීමට අප කැමැත්තෙන් පසු වෙනවා. මානුෂීයත්වය විනාශ කිරීමේ හැකියාවට වඩා එය ආරක්ෂා කිරීමේ සහ පෝෂණය කිරීමේ හැකියාව වේගයෙන් වර්ධනය වන ලෝකයක් අපට අවශ්‍යව තිබෙනවා. අප අපේක්ෂා කළ යුත්තේද එවැනි පරිවර්තනයක්.   මේ හේතූන් නිසාම, ගාසා තීරයේ සහ අත්පත් කරගත් පලස්තීන භුමි ප්‍රදේශවල පවතින ගැටුම් පිළිබඳව අප කනස්සල්ලට පත්ව සිටිනවා.   ගරු සභාපතිතුමනි,   මෑත වසර වලදී, ගෝලීය ආරක්ෂක තත්ත්වය සැලකිය යුතු ලෙස පිරිහී තිබෙනවා. මෙතරම් ධනයක් සහ දැනුමක් පවතින ලෝකයක, ඖෂධ හා අධ්‍යාපනය අහිමිව, දරුවන් කුසගින්නෙන් පෙළෙමින් සිටියදී, අවි ආයුධ සඳහා විශාල සම්පත් ප්‍රමාණයක් දිගින් දිගටම වැය කිරීම පිළිගැනීමට අපහසු තත්ත්වයක් වෙනවා.   බටහිර ආසියාවේ පවතින ගැටුම් සහ එම කලාපයෙන් ඔබ්බට ද ඇති වී ඇති එහි දැඩි බලපෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටිනවා. ජාත්‍යන්තර මානුෂීය නීතිය ඇතුළු ජාත්‍යන්තර නීතිය සියලු පාර්ශ්වයන් විසින් පිළිපැදිය යුතු අතර, ඊට ගරු කළ යුතු වෙනවා. ගැටුම් නිරාකරණය සඳහා ඇති එකම ප්‍රායෝගික ක්‍රම වේදය සාකච්ඡා මාර්ගය බවට වන අපගේ ස්ථාවරය අප නැවත තහවුරු කරනවා.   ස්වයං – නිර්ණ අයිතිය ඇතුළු පලස්තීන ජනතාවගේ අහිමි කළ නොහැකි අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩව පෙනී සිටිනවා. 1980 දශකයේදී පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පළමුවෙන්ම පිළිගත් රටවල් අතරට ශ්‍රී ලංකාව ද අයත් වෙනවා. 1967ට පෙර පැවති දේශසීමා තුළ, ඊශ්‍රායලය සමඟ සාමකාමීව සහ සහජීවනයෙන් කටයුතු කරන ස්වාධීන සහ ස්වෛරී පලස්තීන රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අප එක් වෙනවා.   ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාව අප සාදරයෙන් පිළිගන්නා අතර, එය ක්‍රියාත්මක කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. කිසිදු බාධාවකින් තොරව සිවිල් වැසියන් වෙත මානුෂීය ආධාර ළඟා විය යුතු බව අප විශ්වාස කරනවා. ගාසා තීරය යථා තත්ත්වයට පත් කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම හදිසි ප්‍රමුඛතාවක් විය යුතු වෙනවා.   ගරු සභාපතිතුමනි,   1957 වසරේ සිට ගෝලීය සාමය සහ ආරක්ෂාව සාක්ෂාත් කරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට දිගුකාලීන දායකත්වයක් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතුටට පත් වන අතර, 1957 සිට විවිධ මෙහෙයුම් සඳහා හට පිරිස් 21,000කට අධික පිරිසක් යොදවා තිබෙනවා.   අපගේ නිල් පැහැති හිස් වැසුම්, වසර ගණනාවක් පුරාවට, කැපවීම සහ සේවය තුළින්, දේශීය ප්‍රජාවන්ගේ විශ්වාසය සහ එක්සත් ජාතීන්ගේ ක්ෂේත්‍ර මෙහෙයුම්වල ප්‍රශංසාව දිනාගෙන තිබෙනවා. වර්තමානයේදී, එක්සත් ජාතීන්ගේ ධජය යටතේ, වඩාත්ම අභියෝගාත්මක පරිසරයන්වල අතිමහත් සේවයක් ඉටු කරමින්, අවදානමට ලක්විය හැකි සිවිල් වැසියන් ආරක්ෂා කිරීම, ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ යුද්ධයෙන් පීඩාවට වූ ප්‍රජාවන්ට, ගැටුමෙන් පසු යථා තත්ත්වයට පත් වීමට උපකාර කිරීම සාම සාධක හමුදාවන් විසින් සිදු කරනු ලබනවා.   1995 වසරේ න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ සමාලෝචන සහ ව්‍යාප්ති සමුළුවේදී ඉන්දියානු සාගර සාම කලාපයක් සඳහා වන අපගේ පළමු ඉල්ලීමේ සිට අපගේ නායකත්වය දක්වා බහුපාර්ශ්වික නිරායුධ කරණයට ශ්‍රී ලංකාව දිගු කලක් මුළුල්ලේ සහාය දක්වා තිබෙනවා.   නැගී එන භූ දේශපාලනික ආතතීන් සහ න්‍යෂ්ටික උත්සන්න වීම පිළිබඳ විවිධ මතවාද පවතින අවස්ථාවක, මෙම ආයුධ වලට එරෙහි එකම සැබෑ සහතිකය, ඒවා සම්පූර්ණයෙන්ම සහ ප්‍රත්‍යක්ෂ ලෙස තුරන් කිරීම බව අප දැඩි ලෙස විශ්වාස කරනවා.   ගරු සභාපතිතුමනි,   2030 වසරට අප ළඟා වන විට, තිරසාර සංවර්ධනය සඳහා අපගේ සාමූහික සැලැස්ම ලෙස පවතින තිරසාර සංවර්ධන ඉලක්ක අප විසින් සම්පූර්ණ කළ යුතු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සහ ණය සහ සංවර්ධන මූල්‍ය පාලනය කරන සාධාරණ නීති ශ්‍රී ලංකාව නැවතත් ඉල්ලා සිටිනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල තිරසාර සංවර්ධනය සඳහා වන ඩොලර් ට්‍රිලියන හතරක මූල්‍ය හිඟය පියවා ගැනීමට හදිසි පියවර ගන්නා ලෙස කරන ලද ඉල්ලීම ඇතුළුව, ‘සෙවිල් කැපවීම’ (Seville Commitment) අප පසුගිය වසරේදී සාදරයෙන් පිළිගත්තා. එම කැපවීම් වඩාත් ශක්තිමත් ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කිරීමට මෙය වඩාත් සුදුසු කාලය වන බව අප විශ්වාස කරනවා. අපගේ හදිසි අවධානය අවශ්‍ය සාධක ලෙස දරිද්‍රතාවය සහ අසමානතාවය අප ස්ථිර වශයෙන් හඳුනාගෙන සිටිනවා.   පසුගිය වසරේ අපගේ ජාතික අයවැය සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන අංශ සඳහා ඓතිහාසික ප්‍රතිපාදන ලබා දුන්නා. නිදහස් හා විශ්වීය සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය පිළිබඳ අපගේ දිගුකාලීන ප්‍රතිපත්තිය ගැන අප ආඩම්බර වන අතර, සමාජ යුක්තියේ මෙම වැදගත් අංශ ශක්තිමත් කිරීමට කැපවී සිටිනවා. වෙනස් කොට සැළකීමකින් තොරව සියලුම තිරසාර සංවර්ධන ඉලක්ක ක්‍රියාකාරීව ක්‍රියාත්මක කරන අතරම, මහජන විශ්වාසය ප්‍රතිෂ්ඨාපනය කරන සහ සියලු ජනතාවට එක හා සමානව සලකන සාධාරණ සහ සියල්ල ඇතුළත් නියෝජිතායතනවල වැදගත්කම අවධාරණය කරන තිරසාර සංවර්ධන ඉලක්ක 16 සඳහා අප සම්පූර්ණයෙන්ම දායක වන අතර, ඒ සමඟ ක්‍රියාශීලීව සම්බන්ධ වෙනවා.   ගරු සභාපතිතුමනි,   එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය යටතේ සාගරය තුළ සාධාරණ සහ සාමකාමී පිළිවෙතක් පවත්වා ගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ පෙනී සිට ඇති අතර, එම නීතිමය රාමු හැඩ ගැස්වීමට ද අපි දායක වී තිබෙනවා. මහාද්වීපික තටකයේ සීමාවන් පිළිබඳ කොමිසමේ කටයුතු සඳහා ද අප සහාය පළ කරනවා. සාමකාමී හා තිරසාර භාවිතය මෙන්ම ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ද සාගරය පොදු අවකාශයක් ලෙස ආරක්ෂා කිරීමට අප කැපවී සිටිනවා. අප රටේ සමෘද්ධිය ඉන්දියන් සාගරය සමඟ දැඩි ලෙස බැඳී පවතිනවා.   ජාතික දේශ සීමාවෙන් ඔබ්බට ඇති ප්‍රදේශ වල සාගර ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුමේ ආරම්භක සාමාජිකයෙකු ලෙස, වර්තමාන සහ අනාගත පරම්පරාවන් වෙනුවෙන් මානව වර්ගයාගේ පොදු උරුමයක් ලෙස සාගරය ආරක්ෂා කිරීමට අප සතු කැපවීම අප යලිත් තහවුරු කර තිබෙනවා. ජාත්‍යන්තර මුහුදු පත්ල පිළිබඳ අධිකාරියේ ක්‍රියාවලීන් සමඟ සමපාත වන පරිදි, මෙම ගිවිසුම තවදුරටත් ක්‍රියාත්මක කිරීම අප අපේක්ෂා කරනවා.   ගරු සභාපතිතුමනි,   ශ්‍රී ලංකාවේ ජනතාව අපට ලබා දුන් තීරණාත්මක ජනවරමේ ප්‍රධාන අංශ අතුරින් එකක් වූයේ විනිවිද භාවයෙන් යුත් සහ සදාචාරාත්මක ජාතියක් ගොඩනැගීමයි. එම ජනවරම ඉටු කිරීමේදී, අප යහපාලනය, දූෂණ විරෝධී ක්‍රියා මාර්ග සහ ආයතනික විනිවිදභාවය යන අංග, ඉතා ක්‍රියාශීලීව ක්‍රියාත්මක කෙරෙන පුළුල් ජාතික අඛණ්ඩතා වැඩපිළිවෙළක මූලික හරය බවට පත් කර තිබෙනවා. දූෂණය මගින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන සහ විශ්වාසය බිඳ දමන ආකාරය අප ඉතා පැහැදිලිව දැක තිබෙනවා. පුද්ගලයෙකුගේ පසුබිම හෝ සමාජ තත්ත්වය නොසලකා, කිසිදු බියක් හෝ පක්ෂග්‍රාහීත්වයක් නොමැතිව දුෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අප අඛණ්ඩව සිදු කරනවා. දේශපාලන මැදිහත් වීම් වලින් තොරව විමර්ශන සහ නඩු පැවරීමේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ලබනවා.   අල්ලස් හා දූෂණ පිළිබඳ විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා වගකිවයුතු ආයතනවල ස්වාධීනත්වය ශක්තිමත් කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් අප අත්කර ගෙන තිබෙනවා.   පසුගිය වසරේ මෙම සභාව ඇමතූ අපගේ ජනාධිපතිතුමා, මත්ද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත සංවිධානාත්මක අපරාධ බොහෝ රට වලට තර්ජනයක් වී ඇති ආකාරය මෙන්ම, එම තර්ජනයට මුහුණ දීම සඳහා අප රජය ගෙන ඇති පුළුල් ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධාරණය කළා.   අපගේ “United as a Nation” යන මත්ද්‍රව්‍ය විරෝධී ජාතික වැඩසටහන, ක්‍රියාත්මක කිරීමෙන් වසරකට පසුව, මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ ප්‍රධාන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම ඇතුළුව, සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා.   ගරු සභාපතිතුමනි,   අර්ථවත් තාක්ෂණ හුවමාරුව ප්‍රවර්ධනය කිරීම, සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම, ඩිජිටල් පරතරය පියවීම සහ සැමට ප්‍රවේශ විය හැකි ආරක්ෂිත සහ විශ්වාසදායක පද්ධති ගොඩනැගීම සඳහා ගෝලීය ප්‍රජාවෙන් අප සිදු කළ ඉල්ලීම අප නැවත අවධාරණය කරනවා.   ශ්‍රී ලංකාව, සැමට ප්‍රවේශ විය හැකි ඩිජිටල් අනාගතයක් ගොඩනැගීමේ ක්‍රියාවලියක යෙදී සිටිනවා. ජාත්‍යන්තර රාමු වලට අනුකූලව අප ජාතික කෘත්‍රිම බුද්ධි ආචාර ධර්ම මාර්ගෝපදේශ සකස් කර තිබෙනවා.   නැගී එන තාක්ෂණයන් සහ කෘත්‍රිම බුද්ධි සංවර්ධනය කර, ජාත්‍යන්තර මානුෂීය නීතියේ නිසි ලෙස ස්ථාපිත මූලධර්ම ඇතුළුව, ජාත්‍යන්තර නීතියට අනුකූලව වගකීමෙන් භාවිතා කෙරෙන බවට අප සහතික විය යුතු වෙනවා. ඒවායේ සංවර්ධනය හා භාවිතය මානව වර්ගයාගේ සාමූහික අවශ්‍යතා ඉදිරියට ගෙන යන අතරම, ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාවට දායක විය යුතු වෙනවා. මානව වර්ගයාගේ අවශ්‍යතා, මෙම තාක්ෂණයන්හි සංවර්ධනය හා භාවිතය, සැමවිටම මෙහෙය විය යුතු වෙනවා.   ගරු සභාපතිතුමනි,   එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය හවුල්කරුවෙක් වෙනවා. අභියෝගාත්මක කාල වලදී එක්සත් ජාතීන්ගේ සංවිධානය අප සමඟ කටයුතු කරමින්, අපගේ සංර්වර්ධනයට සහාය වී තිබෙනවා.   විශාල හෝ කුඩා සෑම ජාතියකටම හඬක් ඇති බවත්; සෑම රටකම ජනතාවට ගෞරවය සහ සංවර්ධනය සඳහා අයිතියක් ඇති බවත්; සහ, අන්තර් සබඳතා මත රඳා පවතින ලෝකයක, කිසිදු රටක් ගෝලීය අභියෝග වලට තනිවම මුහුණ දීමට ඉඩ නොතැබිය යුතු බවත් යන කරුණු සහතික කෙරෙන, එක්සත් ජාතීන්ගේ සංවිධානය, සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ අප බොහෝ දෙනෙකුට, මූලික පොරොන්දුවක ප්‍රකාශනයක් වෙනවා.   දශක අටකට වැඩි කාලයක් මුළුල්ලේ, දුර්වලතා මධ්‍යයේ සහ වැඩිදියුණු කිරීමට අවස්ථා ඇතිව, එක්සත් ජාතීන්ගේ සංවිධානය එම පොරොන්දුවට ප්‍රායෝගික අර්ථයක් ලබා දී තිබෙනවා.   කෙසේ වෙතත්, බහුපාර්ශ්විකත්වය කෙරෙහි සැබෑ විශ්වාසයක් ඇති කර ගැනීම සඳහා, පද්ධතියේ දුර්වලතා පිළිගැනීමට අවශ්‍ය ධෛර්යය, හඬක් නැගීමට අවස්ථාව නොමැති අයට සවන් දීමේ නිහතමානීකම සහ අපගේ නියෝජිතායතන වඩාත් ඵලදායී, පුළුල් නියෝජනයක් ඇති සහ වඩාත් ප්‍රතිචාරාත්මක කිරීමට අධිෂ්ඨානය අවශ්‍ය වෙනවා.   මේ සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය අලුත් කිරීමට සහ ශක්තිමත් කිරීමට සහ අර්ථවත් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාව UN80 මුලපිරීමට සහාය දක්වනවා.   ගරු සභාපතිතුමනි,   පරිවර්තනය කළමනා කරණය කිරීම තුළින්, යම් පාර්ශ්වයකට වෙනස කළමනා කරණය කිරීමටත්, අනෙක් පාර්ශ්වයට එහි ප්‍රතිවිපාකවලට අනුවර්තනය වන ලෙස ඉල්ලා සිටීමත් අදහස් විය නොහැක. අපගේ ගෝලීය පරිසරය තුළ සිදුවන පරිවර්තනය සියල්ලන්ටම පොදු විය යුතු වෙනවා.   එය උතුර සහ දකුණ අතර; නව තාක්ෂණයන් නිර්මාණය කරන අය සහ ඒවා ප්‍රයෝජනයට ගන්නා අය අතර; සහ ඔරොත්තු දීමේ හැකියාව ඇති අය සහ ගෝලීය කම්පන වලට වඩාත්ම නිරාවරණය වන අය අතර, බෙදීම් පුළුල් කරනවා වෙනුවට, වඩාත් අවම කිරීමට පියවර ගත යුතු වෙනවා.   මාගේ රට මෙම සමුළුවට සහාභාගී වන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයට සෑම ගැටලුවක්ම විසඳා ගත හැකි බවට වන අපේක්ෂාවෙන් නොව, කිසිදු රටකට තනිවම විසඳිය නොහැකි ගැටළු පවතින බවට ඒත්තු ගැන්වීමේ අරමුණින් යුතුවයි.   එබැවින්, අපගේ පිළිතුර, බහුපාර්ශ්විකත්වය සහ වඩාත් සමීපව සවන් දෙන, වඩාත් සාධාරණ ලෙස නියෝජනය කරන සහ සැමට සේවය ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක් කෙරෙහි වන නැවුම් විශ්වාසය තහවුරු කරන්නක් වෙනවා.

Share.
Leave A Reply