@ශ්‍රම වාසනා අරමුදල ලක්ෂ 186ක පාඩුවක: පාලනයට විතරක් ලක්ෂ 100ක් දියකර හැරලා! (පාසල් උපකරණ බෙදීමේ මුවාවෙන් සිදුවූ මූල්‍ය කඩාවැටීම ගැන පූර්ණ විගණනයක්)
@තාක්ෂණ නිලධාරීන් 3,000ක දැවැන්ත හිඟයක්: රට පුරා සංවර්ධන ව්‍යාපෘති අඩපණ වීමේ අවදානමක! (රු. 15,000ක ක්ෂේත්‍ර වියදමට ලැබෙන්නේ 1,500යි – T.O. නිලධාරීන් ශ්‍රී ලංකාව හැර යයි)
@වසර 30ක ඔප්පු අර්බුදයෙන් පවුල් 35,000ක් අසරණයි: විසඳුම් 2027 දක්වා කල් යයි! (ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රමාදයෙන් නිවාස සංකීර්ණ 116ක ජනතාව අර්බුදයක)
@‘දිට්වා’ විනාශයෙන් මාස ගණනකට පසුත් වාරිමාර්ග 5,935ක් අතහැර දමලා! (අවශ්‍ය බිලියන 12න් ලැබෙන්නේ බිලියන 2යි – ගොවිජනතාව දැඩි ජල අර්බුදයක)
@පිළිකා එන්නත් ලේබල් අර්බුදයෙන් රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ! (ගෙන්වූ එන්නත් 160,000ක් හිරවෙයි – පිටතින් ගන්න රුපියල් 23,000ක අධික පිරිවැයක්)
@වසරකට මත්ද්‍රව්‍ය වැටලීම් ලක්ෂ 7ක්: පාතාලයන් 73ක් විදේශයන්හි සිට කොටු කරගනී! (පොලිස් ඉතිහාසයේ වැඩිම ගිනිඅවි සංඛ්‍යාව සොයාගත් බව පොලිස්පති කියයි)
@ලංකාවේ ජනගහනයෙන් 25.5%ක් තවමත් දරිද්‍රතාවයේ: පවුල්වල ආදායමෙන් 65%ක් ආහාරවලටම ඉවරයි! (පහළ ආදායම්ලාභීන්ගෙන් 68%ක් එදිනෙදා වියදම් සඳහා ණය මත යැපෙන බව ලෝක බැංකු දත්ත කියයි)
@පාතාල අනුග්රාහකයන් වෙනුවෙන් පෙනී සිටි සිවිල් ක්‍රියාකාරිකයා ගැන CIDයට පැමිණිල්ලක්! (ජනතා ප්‍රශ්න මුවාවෙන් ‘ඩීල්’ දැමූ බවට චෝදනා – නීතිමය පියවර ගන්නා බව සංජය මහවත්ත කියයි)
@X-Press Pearl වන්දි නඩුව හදිසියේ අවසන්: රටට රුපියල් කෝටි 33,000ක ජාතික පාඩුවක්! (ධීවරයන් 19,000කගේ වන්දි අයිතිය අහෝසි කරමින් විදේශ බලපෑම්වලට යට වූ බවට දයාසිරිගෙන් බරපතල චෝදනාවක්)
@ළමුන් 4,000කට උප්පැන්නත් නෑ: මාස 10ට ළමා අපචාර 5,682ක්! (ළමා ශ්‍රමය සූරාකන ක්ෂේත්‍ර 71 දක්වා ඉහළට – වරදකරුවන්ට පනවන දඩය ලක්ෂය දක්වා ඉහළට)
@ජාතික ධනය සහ මහජන අරමුදල් නාස්තිය ගැන රට හඬයි: රාජ්‍ය අංශයේ විගණන අර්බුදය මතුපිටට! (RDA, ශ්‍රම වාසනා හා වාරිමාර්ග ව්‍යාපෘතිවල සිදුවූ මූල්‍ය අවභාවිතයන් පිළිබඳ විශේෂ අනාවරණය)
@ සියලු පුවත් විස්තරය මෙන්න
RDA ටෙන්ඩර් අක්‍රමිකතාවකින් රජයට බිලියන 17ක අතිවිශාල පාඩුවක්!
මධ්‍යම අධිවේගී මාර්ගයේ 4 වන අදියර (CEP 4) සහ රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ වීමට නියමිතව තිබියදී, මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) දෝෂ සහිත ටෙන්ඩර් ක්‍රියාවලිය නිසා රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුවන බව බව පාර්ලි මේන්තු මන්ත්‍රී නිතිඥ දායාසිරි ජයසේකර පවසයි.
CIDA CS2 ශ්‍රේණියේ සමාගම් 13ක් සිටියදී දෙවන අදියරේදී තරඟකාරිත්වය සමාගම් 6කට සීමා කිරීම නිසා, ඇස්තමේන්තුවට වඩා 16%-21%කින් ලංසු ඉහළ ගොස් ඇත. එමගින් රුපියල් බිලියන 94.69ක ඇස්තමේන්තුව බිලියන 112.56 දක්වා ඉහළ ගොස් රජයට රුපියල් බිලියන 17.87ක අතිරේක පාඩුවක් සිදු වී ඇති බව ඔහු කීය.
එහෙත්, සමාගම් 15කට ඉඩදුන් පළමු අදියරේදී ලංසු 38%-42%කින් පහත වැටී රුපියල් බිලියන 5.9ක් ඉතිරි වූ අතර මෙම දෝෂ සහිත ක්‍රමවේදය වෙනස් නොකළහොත් ඉදිරි ව්‍යාපෘතිවලදී මහජන මුදල් අතිවිශාල ලෙස අවභාවිත වන බව ද ඔහු කීය.
@ ශ්‍රම වාසනා අරමුදලෙන් ලක්ෂ 662ක දැවැන්ත වියදමක්! ලක්ෂ 100ක් පරිපාලනයට!
ශ්‍රම වාසනා අරමුදලේ මූල්‍ය පරිපාලනය සහ වියදම් රටාව පිළිබඳව ප්රශ්නකාරී තත්ත්වයක් මතුව තිබේ.
2024 වර්ෂයේ අධ්‍යාපනික ආධාර වෙනුවෙන් සමස්ත වියදම රුපියල් ලක්ෂ 662.31 ක් බවත් ප්‍රතිලාභීන් 29,635 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 2,235.00 බැගින් වැය කර ඇති අතර, ඉන් රුපියල් ලක්ෂ 100.57ක්ම වැය වී ඇත්තේ පාලන සහ වෙනත් වියදම් සඳහා බව විගණන වාර්තාවල දැක්වෙන බව කම්කරු ඇමති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.
2019 වසරේ සේවක සුභසාධන වියදම රුපියල් ලක්ෂ 92.34කි. එහිදී පනත් සංශෝධන නවාතැන් සඳහා රුපියල් ලක්ෂ 1.44ක් ද, වොලිබෝල් පිටිය විවෘත කිරීමට රුපියල් ලක්ෂ 0.38ක් සහ රුපියල් ලක්ෂ 0.19ක් බැගින් ද වැය කර ඇත. ලාභ අලාභ ගිණුමට පිරිවැය මාරු කිරීම් ලෙස එකවර රුපියල් ලක්ෂ 34.43ක් සහ රුපියල් ලක්ෂ 33.20ක් ගිණුම්ගත කර ඇති බව ඇමති වරයා කීය.
2024 දී අධ්‍යාපනික ආධාර සඳහා රුපියල් ලක්ෂ 662.06ක් සහ සමාජ සුභසාධන අරමුදල් (SVF) ආධාර ලෙස රුපියල් ලක්ෂ 66.90ක් වැය කළද, 2025 සහ 2026 වන විට ඒවා ශූන්‍ය වී ඇත. ඒ වෙනුවට ශිෂ්‍යත්ව සඳහා 2025 දී රුපියල් ලක්ෂ 50.87ක් ද, 2026/06/30 වන විට රුපියල් ලක්ෂ 17.00ක් ද වෙන් කර ඇති බද ඔහු කීය.
2025 දී රඳවා ගැනීමේ බදු ලෙස රුපියල් ලක්ෂ 20.23ක් ගෙවා ඇති අතර, මෙලෙස ජනතා මුදල් වැයවීම ගැන පූර්ණ විගණනයක් කැඳවීමට පියවර ගනිමින් සිටින බව ද ඇමතිවරයා කීය.
@
තාක්ෂණ නිලධාරී 3,000ක හිඟයක්: රට පුරා සංවර්ධන ව්‍යාපෘති අඩපණ වන ලකුණු!
රට පුරා තාක්ෂණ සේවා නිලධාරීන් (T.O.) 3,000ක හිඟයක් හේතුවෙන් ගම් නගර මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම අඩපණ වීමේ දැඩි අවදානමක් මතුව තිබේ.
පවතින පුරප්පාඩු සඳහා අයදුම්පත් 8,000ක් ලැබුණද සුදුසුකම් ලබා ඇත්තේ 128ක් පමණි. ඉන් සේවයට වාර්තා කර ඇත්තේ නිලධාරීන් 98ක් වැනි සුළු පිරිසකි.
මසකට රුපියල් 15,000ක් වියදම් වන ක්ෂේත්‍ර රාජකාරි සඳහා හිමිවන්නේ රුපියල් 1,500ක ගමන් දීමනාවක් පමණි. ඒ අනුව නිලධාරියෙකුට මසකට රුපියල් 13,500ක පාඩුවක් තම වැටුපෙන් දැරීමට සිදුවේ.
අඩු වැටුප්, අහිමි වූ උසස්වීම් සහ පහසුකම් හිඟය හමුවේ නිලධාරීන් සීඝ්රයෙන් රට හැර යාම නිසා සමස්ත රාජ්‍ය තාක්ෂණ පද්ධතියම කඩා වැටීමේ තර්ජනයකට ලක්ව ඇත.
@
දශක තුනක ඔප්පු අර්බුදය: පවුල් 35,000ක් අසරණයි – විසඳුම් 2027ට!
වසර 30ක සිට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතුව නිවාස හා ඉඩම් ඔප්පු පිටපත් 35,000ක් පමණ නිරවුල් නොකර ප්‍රමාද කිරීම නිසා රට පුරා නිවාස සංකීර්ණ 116 ක හා සෙසු රජයේ ඉඩම්වල පදිංචිකරුවෝ දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති.
ස්වර්ණභූමි, ජයභූමි, බිම් සවිය, උදාගම හා උරුමය වැනි නොයෙක් වැඩසටහන් ක්‍රියාත්මක කළද, පිරිසිදු සින්නක්කර හිමිකමක් ලබා දීමට බලධාරීන් අසමත් වී ඇත. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඇතුළු වගකිවයුතු ආයතනවල මන්දගාමී පිළිවෙත නිසා ජනතාවට රාජ්‍ය සේවා ලබාගැනීමේදී මහත් ගැටලු මතුව තිබේ. කෙසේ වෙතත්, මෙම ඉඩම් ගැටලුවට 2027 වසරේදී අවසන් විසඳුම් ලබා දෙන බව රජය පවසයි.
@ දිට්වා මහ විනාශයෙන් මාස ගණනකට පසුත් වාරිමාර්ග 5,935ක් තවමත් අතහැරලා!
හානි වූ 7,327න් ප්‍රතිසංස්කරණය කරන්නේ 883යි!
81%කට පිළිසරණක් නෑ!
අවශ්‍ය මිලියන 12,170න් මෙවර ලැබෙන්නේ මිලියන 2,000යි!
‘දිට්වා’ කුණාටුවෙන් විනාශ වූ කුඩා වැව් 1,599ක්, අමුණු 1,686ක් සහ ඇලවේලි 4,042ක් අතුරින් වාරිමාර්ග 5,935ක් මෙතෙක් කිසිදු පුනරුත්ථාපනයක් සිදු කර නොමැත.
මේවන විට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව 2026දී යථා තත්ත්වයට පත් කරමින් සිටින්නේ 883ක් පමණි. එම දෙපාර්තමේන්තුවේ සම්පත් මඳකමින් මහවැලි උපදේශන කාර්යාංශයේ සහාය පැතීමට සිදුව තිබේ.
අලුත්වැඩියාවට රුපියල් මිලියන 12,170ක් ඇස්තමේන්තු කළද, 2026දී වෙන්වන්නේ මිලියන 2,000ක් පමණි. ඉතිරි රුපියල් මිලියන 10,170ක මුදල 2027 දක්වා කල් ගොස් ඇති අතර, මන්දගාමී පියවර හමුවේ ගොවිජනතාව දැඩි ජල අර්බුදයකට මැදිව සිටිති.
@
පිළිකා එන්නත් ලේබල් අර්බුදයෙන් රෝගීහු 75,000කගේ ජීවිත අනතුරේ: හිඟයට විසඳුම් සතියකින්!
දිවයින පුරා රෝහල්වල පවතින G-CSF පිළිකා ප්‍රතිශක්තීකරණ එන්නත් හිඟය නිසා ඉදිරි මාස තුන තුළ රෝගීන් 75,000කගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
වසරකට අවශ්‍ය එන්නත් ලක්ෂ 3ක ප්‍රමාණයෙන් චීනයෙන් සහ ඉන්දියාවෙන් 2026/2027 සඳහා පිළිවෙළින් එන්නත් 310,000ක් හා 330,000ක් ගෙන්වීමට අනුමැතිය ලැබී ඇති බව ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස සඳහන් කළේය.
කෙසේ වෙතත්, මේ වන විට ආනයනය කළ එන්නත් 160,000ක තොගයේ නිසි පරිදි ලේබලය සටහන් නොවීම නිසා රෝහල් වෙත නිකුත් කිරීමට නොහැකි වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මේ සඳහා සතියක් තුළ විසඳුම් දෙන බවට අමාත්‍යවරයා සහතික වන අතර, රෝගීන්ගේ ඥාතීන් පවසන්නේ රෝහල්වල නොමැති මෙම එන්නතක් පිටතින් මිලදී ගැනීමට රුපියල් 23,000ක අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි.
@ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය
ශ්‍රී ලංකා පොලිසිය මෙරට පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාලය මුළුමනින්ම අඩපන කිරීමට පියවර රැසක් ගෙන තිබේ.
මේ අනුව ගත වූ වසර තුළ සිදු කළ වැටලීම් 7,71,580 කින් සැකකරුවන් 7,70,098 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පවසයි.
මෙහිදී හොරොයින් කිලෝග්‍රෑම් 5,246.89 ක්, ගංජා කිලෝග්‍රෑම් 43,600.69 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 9,490.98 ක් ගත් බව හෙතෙම කීය.
පොලිස් ඉතිහාසයේ වැඩිම ගිනි අවි සංඛ්‍යාව වන මාරාන්තික ගිනිඅවි 6,966 ක් සොයාගෙන ඇති බව ද හෙතෙම කීය.
විදේශයන්හි සැඟවුණු ප්‍රබල පාතාලයන් 73 දෙනෙකු මෙරටට ගෙන ආ අතර, තවත් 92 කට රතු නිවේදන නිකුත් කරමින් පාතාලය මුළුමනින්ම කොටු කිරීම සඳහා විදෙස් රාජ්‍ය නායකයන් හා ආරක්ෂක අංශ සම්බන්ධ වී දැවැත්ත සැලසුමක් දියත් කරමින් සිටින බව ද ඔහු කීය.
@ ලංකාවේ සියයට 25.5ක් දුප්පත්! ලංකාවේ පවුල්වල ආදායමෙන් සියයට 65ක් ආහාරවලට!
ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්තවලට අනුව, මෙරට ජනගහනයෙන් සියයට 25.5ක් (ලක්ෂ 55ක්) තවමත් දරිද්‍රතාවයේ පසුවන බව දක්වා ඇත. 2019 දී සියයට 11.3ක් වූ මෙම අගය දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර, බහුවිධ දරිද්‍රතාවය සියයට 25.9 ක් ලෙස සටහන් වේ.
ආදායම් අසමානතාව මැනෙන ගිනි සංගුණකය 0.38 සිට 0.44 දක්වා ඉහළ ගොස් ඇති අතර රටේ සමස්ත ආදායමෙන් සියයට 51.4 ක් ඉහළම සියයට 20 හිමිකර ගන්නා අතර, පහළම සියයට 20ට හිමිවන්නේ සියයට 4.8ක් පමණි.
උද්ධමන අනුපාත පහත වැටුණද, සැබෑ ආදායම සියයට 22 – සියයට 30 අතර ප්‍රමාණයකින් ක්ෂය වී ඇති බවත් පහළ ආදායම්ලාභී පවුලක මාසික ආදායමෙන් සියයට 60 – සියයට 65 ක් ආහාර සඳහා ද, සියයට 20 – සියයට 25 ක් විදුලිය හා ප්‍රවාහනයට ද වැය වේ.
එමෙන්ම, පහළ ආදායම්ලාභීන්ගෙන් සියයට 68 ක් දෛනික පාරිභෝගික අවශ්‍යතා සඳහා ණය මත යැපෙන බවද දත්ත සටහන් කර තිබේ.
වතු අංශයේ බහුවිධ දරිද්‍රතාවය සියයටි 50 ඉක්මවා ඇති අතර, සමස්ත දිළිඳු ජනගහනයෙන් සියයට 80 කට වැඩි පිරිසක් ග්‍රාමීය අංශයේ වෙසෙති.
‘අස්වැසුම’ හරහා පවුල් සඳහා මාසිකව රුපියල් 2,500 සිට රුපියල් 15,000 දක්වා ලබාදුන්නද, මුල් අදියරේදී ලක්ෂ 10කට අධික අභියාචනා ලැබිණි. සමස්ත ශ්‍රම බලකායෙන් සියයට 57ක් වන අවිධිමත් අංශයට කිසිදු සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් නොමැති බව ද නවතම දත්ත පෙන්වා දෙති.
@ ශ්‍රම වාසනා අරමුදලේ ලාභය මිලියන 53කින් බැස 2024දී ලක්ෂ 186ක පාඩුවකට: හේතුව පාසල් උපකරණ බෙදීමලු!
පසුගිය 2024 පාලන කාලයේ ශ්‍රම වාසනා අරමුදල තුළින් සිදු නොකළ යුතු වියදමක් ලෙස රුපියල් මිලියන 73ක්ට අධික මුදලක් වෙන් කර ඇති බව ජාතික විගණන කාර්යාලයේ නවතම වාර්තා පෙන්වා දෙයි.
2023 වසරේදී රුපියල් මිලියන 35.1ක ශුද්ධ අතිරික්තයක් (ලක්ෂ 351ක ලාභයක්) වාර්තා කළ ශ්‍රම වාසනා අරමුදල, 2024 වර්ෂය අවසන් වන විට රුපියල් මිලියන 18.6ක (ලක්ෂ 186ක) මූල්‍ය ඌනතාවකට (පාඩුවකට) වැටී ඇති බව ජාතික විගණන කාර්යාලයේ වාර්තා පෙන්වා දෙයි.
එක් වසරක් ඇතුළත සිදු වී ඇති මෙම රුපියල් මිලියන 53.8ක දැවැන්ත මූල්‍ය කඩාවැටීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ, අරමුදල මගින් ක්‍රියාත්මක කළ පාසල් උපකරණ ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 3.5 සිට රුපියල් මිලියන 16.9 දක්වා විශාල ලෙස ඉහළ නැංවීමයි.
2015 – 2022 කාලසීමාව තුළ ස්ථාවර තැන්පතු පොලී ආදායම් ගණනය කිරීමේ දෝෂ, ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ලැබිය යුතු ආදායම් පියවීමේ ප්‍රමාද සහ රුපියල් ලක්ෂ 35ක ප්‍රාග්ධන ප්‍රදාන නිසි පරිදි ගිණුම්ගත නොකිරීම වැනි පරිපාලනමය හා ගිණුම්කරණ අඩුපාඩු රැසක් පැවැති බව විගණන වාර්තා පෙන්වා දෙයි.
2025 මුදල් වර්ෂයට අදාළ විගණන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර, ඒවා ඉදිරියේදී පාර්ලිමේන්තුවට සභාගත කිරීමට නියමිතය.
@
ශිරාන් භාෂික්ගේ ‘ඩීල්’ සුරැකි සංජය මහවත්ත ගැන CIDයට පැමිණිල්ලක්: සිවිල් ක්‍රියාකාරකම පිටුපස මහා පරිමාණ මුදල් ජාවාරමක්?
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් භාෂික් වෙනුවෙන් පෙනී සිටිමින් පොලීසිය අපහසුතාවට පත්කිරීමට උත්සාහ කළ සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්තට එරෙහිව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර පවසයි.
ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින මුවාවෙන් ජාවාරම්කරුවන් සමඟ ‘ඩීල්’ දමමින් මුදල් උපයන බවට චෝදනා කරන ඒ මහතා, ශිරාන් භාෂික්ගේ දෙහිවල හෝටලයේ නීති විරෝධී කොටස් කඩා දැමූ අවස්ථාවේදී ද මහවත්ත ඊට පෙනී සිටි බව මතක් කර දෙයි.
මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන සංජය මහවත්ත මහතා සඳහන් කළේ තමන් මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ දැවැන්ත කාර්යභාරයක් ඉටුකරමින් සිටින බවත්, මෙම පදනම් විරහිත ප්‍රකාශවලට එරෙහිව ඉදිරියේදී දැඩි ලෙස නීතිමය පියවර ගන්නා බවත්ය.
@
එක්ස්-ප්‍රෙස් පර්ල් (X-Press Pearl) වන්දි නඩුව හදිසියේ අවසන්! රුපියල් කෝටි 33,000 ක ජාතික පාඩුවක්!
ධීවරයන් 19,000 කගේ වන්දි අයිතිය අහෝසි! පස්-පුද්ගල විනිසුරු මඬුල්ලේ පසු-තීන්දු නියෝගත් උල්ලංඝනය වෙයි!
එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකා ව්‍යසනය වෙනුවෙන් ලැබීමට තිබූ රුපියල් කෝටි 33,000 කට අධික වන්දි මුදල අහිමි කරමින් සහ ධීවරයන් 19,000 කගේ සහන අයිතිය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු හදිසියේ අවසන් කිරීමට රජය ගත් අහිතකර නීතිමය තීන්දු හේතුවෙන් රටට මහා විනාශයක් සිදුව තිබේ.
දත්ත කරුණු හා වාර්තා පදනම් කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ සම්බන්ධයෙන් මෙසේ කීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මුල් පස්-පුද්ගල විනිසුරු මඬුල්ල ලබාදුන් තීන්දුවේ 897(XVII) සහ 899 ඡේද මගින් පසු-විමර්ශන අධීක්ෂණය සඳහා මෙම නඩුව එම විනිසුරු මඬුල්ල හමුවේම 2025 සැප්තැම්බර් 25 වන දින නැවත කැඳවීමට නියෝග කර තිබුණි.
කෙසේ වෙතත් එම නියෝග පසෙකලා 2025 සැප්තැම්බර් 25 දින නඩුව කැඳවනු ලැබුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් (ඒ.එල්. ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි, කේ. ප්‍රනාන්දු) හමුවේය.
පසුව 2026 ජනවාරි 26 වන දින, එකී ත්‍රිපුද්ගල මඬුල්ල විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් (SC/FR 168/21, 184/21, 176/21, 277/21) සියල්ලෙහිම ඉදිරි කටයුතු අවසන් කරන ලදී.
නඩු තීන්දුව අනුව වන්දියේ පළමු වාරිකය ලෙස USD මිලියන 250 ක් 2025 සැප්තැම්බර් 23 දිනට පෙර ගෙවිය යුතුව තිබුණද, 13 වන වගඋත්තරකාර සමාගම 2022 දී ගෙවන ලද රුපියල් මිලියන 300 ක (USD මිලියන 1 ට ආසන්න) පාලු පේ-ඕඩරයක් පෙන්වමින් එම මුදල ගෙවීම පැහැර හැර ඇත. පෙත්සම්කරුවන් ඊට එරෙහිව නීතිමය පියවර ඉල්ලද්දීත්, ඔවුන්ගේ දැනුම්දීමේ අයිතිය පවා අහෝසි කරමින් නඩුව මෙසේ අවසන් කර තිබේ.
මෙම නඩු තීන්දුවෙන් පසුව ලන්ඩන් ආරක්ෂණ සහ වගකීම් රක්ෂණ සංගමය (London P&I Club) හි ප්‍රධාන විධායක ජේම්ස් බීන් විසින් 2025 සැප්තැම්බර් 19 සහ නොවැම්බර් 14 දිනවල ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ලිපි යොමු කරමින්, කප්පිතවරයා හෝ නියෝජිතයන් අත්අඩංගුවට නොගෙන රාජ්‍ය තාන්ත්‍රිකව සාකච්ඡා කරන ලෙස ඉල්ලා ඇත.
2025 සැප්තැම්බර් 24 දින එක්සත් රාජධානියේ මුදල් අමාත්‍ය රේචල් රීව්ස් වෙත ලිපියක් යවමින්, මෙම වන්දි නියෝගය ලන්ඩන් රක්ෂණ වෙළඳපොළට තර්ජනයක් බව පවසමින් මැදිහත් වන ලෙසද ඉල්ලා තිබේ.
ලංකාවේ බුද්ධි අංශ සහ අල්ලස් කොමිසමට මාස 3 ක් ඇතුළත පරීක්ෂණ අවසන් කිරීමට නියෝග කර තිබියදී විදේශීය බලපෑම් හමුවේ පසු-තීන්දු නියෝග ක්‍රියාත්මක නොකර නඩුව අවසන් කිරීම පිටුපස අර්බුදයක් හටගෙන ඇති බව දයාසිරි ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
@
ළමුන් 4,000කට උප්පැන්න නෑ! මාස 10ට ළමා අපචාර 5,682ක්: ළමා ශ්‍රමිකයෝ මිලියන 160ක් බිල්ලට!
ලංකාවේ ළමා සුරකුම් මධ්‍යස්ථානවල සිටින ළමයින් 10,000 අතුරින් 4,000කට උප්පැන්න සහතික පවා නොමැති බවත්, පසුගිය මාස 10 තුළ පමණක් ළමා අපචාර 5,682ක් වාර්තා වී ඇති බව නවතම සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි. 2025 වර්ෂයට අදාළව ජනලේඛන දත්ත අනුව මෙරට සමස්ත ළමා ජනගහනය ලක්ෂ 45 ක් බව ද වාර්තාව සදහන් කළේය.
කාන්තා හා ළමා කටයුතු ඇමතිවරිය සඳහන් කළේ ළමා ශ්‍රමය සූරාකන ක්ෂේත්‍ර 51ට තවත් නව ක්ෂේත්‍ර 20ක් එකතු වී සමස්තය 71 දක්වා ඉහළ ගොස් ඇති බව කීවාය. මෙයට අමතරව නීති විරෝධී ලෙස ළමා ශ්‍රමය යොදාගන්නන්ට පනවන දඩ මුදල රුපියල් 10,000 සිට රුපියල් 100,000 (ලක්ෂය) දක්වා 10 ගුණයකින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවද ඇය කීවාය.
ළමා ශ්‍රමය රටින් අවසන් කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බව ද ඇය කීවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැවසූයේ 2021-2026 කාලයේ මනුෂ්‍ය ඝාතන 2,964ක් සහ කාන්තා සම්බන්ධව අපරාධ 989ක් සිදුව ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නවතම දත්ත අනුව ලොව පුරා ළමා ශ්‍රමිකයන් මිලියන 160ක් සිටින අතර, මිලියන 79ක් අන්තරායකාරී රැකියාවල නිරත වන බව සඳහන් වේ.අප්‍රිකාවේ සෑම දරුවන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුම සියයට 20 ළමා ශ්‍රමිකයන් වන බවද දත්ත සටහනේ දැක්වේ.

