පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ විශිෂ්ඨ නායකත්වය යටතේ ගෙවුණු වසරක කාලය තුළ ශ්‍රී ලංකා පොලිසිය, රටේ නීතිය හා සාමය තහවුරු කරමින් අතිදැවැන්ත ප්‍රගතියක් අත්පත් කරගෙන තිබේ. අපරාධ මර්දනය, යටිතල පහසුකම් සංවර්ධනය සහ නිලධාරී සුබසාධනය වෙනුවෙන් ඉටුකළ මෙම මෙහෙයුම සංඛ්‍යාත්මක දත්තවලින් තහවුරු වන ප්‍රබල ජයග්‍රහණයකි.
අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක කළ තීරණාත්මක මෙහෙයුම් යටතේ, විදේශගතව සිටි ප්‍රබල අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 73 දෙනෙකු ජාත්‍යන්තර සහාය ඇතිව අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන ලදී. එමෙන්ම, තවත් ජාවාරම්කරුවන් 92 දෙනෙකු සඳහා ඉන්ටර්පෝල් රතු නිවේදන නිකුත් කිරීමට කටයුතු කර ඇත. මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් 771,580 ක් හරහා සැකකරුවන් 770,098 ක් අත්අඩංගුවට ගත් අතර, එහිදී අයිස් (ICE) කිලෝග්‍රෑම් 9,490 කට අධික ප්‍රමාණයක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 43,600 ක් සහ හොරොයින් කිලෝග්‍රෑම් 5,246 ක් පොලිස් භාරයට ගැනුණි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වැඩිම ගිනි අවි ප්‍රමාණය වන ගිනි අවි 6,966 ක් අත්අඩංගුවට ගත්තේ ද මෙම ස්වර්ණමය කාලපරිච්ඡේදය තුළදීය.
ආයතනික ශක්තිය වැඩිදියුණු කරමින් නිලධාරීන් 4,680 කට උසස්වීම් ලබාදුන් අතර, 890 දෙනෙකුට විදේශීය අධ්‍යාපනික හා පුහුණු අවස්ථා හිමිකර දෙන ලදී. 2026 වර්ෂයේදී පොලිස් සේවයට සහ විශේෂ කාර්ය බලකායට නවක නිලධාරීන් 7,500 ක් බඳවා ගැනීමට ඉලක්ක කර ඇත. මීට අමතරව, කලක් තිස්සේ ගොඩගැසී තිබූ විශ්‍රාම ගොනු 4,141 ක් සහ විනය ගොනු 1,966 ක් කඩිනමින් අවසන් කිරීමට පියවර ගැනුණි.
යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 587 ක පිරිවැයකින් පරිගණක සහ තාක්ෂණික උපකරණ ලබාදුන් අතර, ඉන්දියානු ආධාර යටතේ රුපියල් මිලියන 662.9 ක් වටිනා ටාටා සිංගල් කැබ් රථ 134 ක් පොලිස් fleet එකට එක් කෙරුණි. පැරණි වාහන හා ගොඩනැගිලි නවීකරණයට පිළිවෙලින් රුපියල් බිලියන 01 ක් සහ බිලියන 3.9 ක් වෙන් කර ඇත.
නිලධාරී සුබසාධනය උදෙසා කොළඹින් රුපියල් බිලියන 5.5 ක් වැය කර විවාහක නිල නිවාස 350 ක් ලබාදුන් අතර, බරපතල ශල්‍යකර්ම සඳහා වන වෛද්‍ය ආධාර රුපියල් ලක්ෂ 05 සිට ලක්ෂ 20 දක්වා සිව්ගුණයකින් ඉහළ නංවන ලදී. නිල ඇඳුම් හා දීමනා සඳහා රුපියල් මිලියන 2,100 කට අධික මුදලක් වෙන් කර ඇති අතර, 2026 වසර සඳහා රුපියල් මිලියන 3,487 ක දැවැන්ත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ද දියත් කර ඇත.
මෙම අසමසම මෙහෙවර වෙනුවෙන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නායකත්වයට මුළු මහත් ජාතියේම ප්‍රණාමය හිමිවේ.

