2027 අයවැයෙන් හමුදා තාක්ෂණයට හා විදේශ පුහුණුවට විශාල මුදලක්

රණවිරු ශ්‍රමයට විශේෂ ඇගයීමක්; නෙවිල් ප්‍රනාන්දු රෝහල නැවත වැඩ අරඹයි

– ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස්

කොළඹ (විශේෂ වාර්තාකරුවකුගෙන්)

ත්‍රිවිධ හමුදාව යටතේ දැනට වෙන් වෙන්ව ක්‍රියාත්මක වන සියලුම පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන (R&D Centers) එකාබද්ධ කරමින් ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දෙයි.

ජනාධිපති කාර්යාලයේදී අද (17) පැවැත්වුණු ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ 2027 පූර්ව අයවැය සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේය.

යුද, ගුවන් සහ නාවික හමුදාවල පර්යේෂණ බලඇණි එකම ජාතික මධ්‍යස්ථානයක් යටතේ මෙහෙයවීමෙන් ඒවායේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නංවා ගැනීමට හැකි වන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

නවීන තාක්ෂණය හා භූ-දේශපාලනික අභියෝග

වර්තමාන ගෝලීය හා භූ-දේශපාලනික අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා ආරක්ෂක අංශ නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සහ තාක්ෂණික උපකරණ භාවිතය ඉහළ නැංවීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය. එසේම, රණවිරු වෘත්තීය කුසලතා වර්ධනය උදෙසා විදේශීය පුහුණු අවස්ථා සඳහා වෙන් කරන අයවැය ප්‍රතිපාදන සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමටද තීරණය කෙරිණි.

නෙවිල් ප්‍රනාන්දු රෝහල නැවත වැඩ අරඹයි

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ මෙහෙයුම් කටයුතු වඩාත් විධිමත් කිරීමට මෙන්ම, මාළඹේ පිහිටි නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් වෙන් කිරීමටද මෙහිදී තීරණය කර ඇත.

මීට අමතරව, රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දෙන ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වය අගයමින් විශේෂ දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට උපදෙස් ලබා දී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිකොන්තා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply