මාස 06ට අඩු ළදරුවන් සඳහා වන ආහාර සවිමත් කිරීමේදී මෙන්ම, ආහාර නිෂ්පාදනවල සෞඛ්‍ය හා පෝෂණ හිමිකම්පෑම් (Health & Nutrition Claims) සඳහන් කිරීම සහ ප්‍රචාරය කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කරමින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
2026 ආහාර (ලේබල් කිරීමේ හා ප්‍රචාරය කිරීමේ) නියෝගයන්හි 13(6)(අ) සහ 14(1) වගන්තිවලට අනුව, ප්‍රධාන ආහාර බලධාරියාගේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව කිසිදු මාධ්‍ය ආයතනයකට, ප්‍රචාරණ ආයතනයකට හෝ පුද්ගලයෙකුට සෞඛ්‍ය හා පෝෂණ හිමිකම්පෑම් ඇතුළත් ප්‍රචාරණ දැන්වීම් පළ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
අනුමැතිය නැතිව නඩු පැවරීමට පෙර විශේෂ පරීක්ෂාවක්!
මෙම නීතිමය විධිවිධාන උල්ලංඝනය වන අවස්ථාවලදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර අනිවාර්යයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන පරිපාලන ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙතින් අදාළ කරුණු සත්‍යාපනය කරගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන ආහාර බලධාරී වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් සියලුම බලලත් නිලධාරීන් වෙත දැනුම් දී ඇත.
ඒ අනුව, නීතිමය විධිවිධාන යටතේ නොතීසි නිකුත් කිරීම, නඩු පැවරීම හෝ වෙනත් ඕනෑම නීතිමය පියවරක් ගැනීමට පෙර ලිඛිතව ආහාර පාලන පරිපාලන ඒකකය වෙත කරුණු යොමු කර, එහි පිළිතුරු ලැබීමෙන් අනතුරුව පමණක් ඉදිරි කටයුතු සිදු කළ යුතු බවට සියලු පරිපාලන නිලධාරීන්ට දැඩි උපදෙස් දී තිබේ.

