රටේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට එල්ල වන අහිතකර බලපෑම හමුවේ සමස්ත රටම මෙන්ම ජාත්‍යන්තරය ද ඊට එරෙහිව පෙළගැසෙමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (අගෝස්තු 17) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන මෙම සංශෝධනයට එරෙහිව සමස්ත විපක්ෂය, ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර නීතිඥ සංගම් රැසක් ද එකහෙළා විරෝධය පළ කර ඇති බවයි.

මෙම සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට මාලිමා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ගන්නා උත්සාහයන් විවේචනය කළ ගම්මන්පිල මහතා, රටේ සංකීර්ණ නීතිමය හා ව්‍යවස්ථාපිත කරුණු සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ විශේෂඥයන්ගේ හා නීතිඥවරුන්ගේ මඟපෙන්වීම මත බව අවධාරණය කළේය.

එසේම, පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩුව තවත් මාසයකින් අවසන් වන බවට ජනාධිපතිවරයා නීතිඥ සංගමය හමුවේ කළ ප්‍රකාශය අධිකරණයට කෙරෙන අනිසි බලපෑමක් හා අධිකරණයට අපහාස කිරීමක් බවට ද උදය ගම්මන්පිල මහතා චෝදනා කළේය.

විත්තිකරුවන් 24 දෙනෙකු, සාක්ෂිකරුවන් 3,000 ක් සහ චෝදනා 23,000 කින් සමන්විත මෙවැනි දැවැන්ත නඩුවක චුදිතයන්ගේ සාක්ෂි විමසීම, ලිඛිත කරුණු දැක්වීම්  සහ පිටු දහස් ගණනක නඩු තීන්දුව ලියා නිමකිරීම මාසයකින් කළ නොහැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.

නඩු අසා අවසන් වන තෙක් විනිසුරුවරුන්ට උසස්වීම් ලබා නොදෙන බවට ජනාධිපතිවරයා දක්වන හේතුව අසත්‍යයක් බවත්, සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ විනිසුරුවරුන් උසස්වීම් ලබා ගිය පසු අලුතින් පැමිණෙන විනිසුරුවරුන් අදාළ නඩු විභාග ඉදිරියට පවත්වාගෙන යාම බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ආණ්ඩුවේ ජනප්‍රියතාවය ඉහළ මට්ටමක පවතින බව ප්‍රකාශ කළද, මෙම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යොමු කිරීමට ආණ්ඩුව බියෙන් පසුවන බව චෝදනා කළ ගම්මන්පිල මහතා, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යොමු කරන ලෙස ඉල්ලා ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කරන බවද පැවසීය.

Share.
Leave A Reply