මෙරට ජාතික බලශක්ති ක්ෂේත්රයේ දැවැන්ත පෙරළියක් සිදු කරමින්, ලංකා ඉතිහාසයේ අඩුම පිරිවැයකින් පුනර්ජනනීය විදුලිය ලබාදෙන මන්නාරම මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු උපරිම වේගයකින් ඉදිරියට ඇදෙමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්යාංශය නිවේදනය කරයි.
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සෘජු මැදිහත්වීම සහ ප්රධානත්වය යටතේ ඉකුත් ජනවාරි මාසයේදී මෙහි වැඩකටයුතු ආරම්භ කෙරුණු අතර, මාස කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ ව්යාපෘතියේ කැපී පෙනෙන ප්රගතියක් අත්කර ගැනීමට හැකි වී තිබේ.
ව්යාපෘතියට අදාළ පළමු ටර්බයින තොගය මීට සති කිහිපයකට පෙර දිවයිනට ළඟා වූ අතර, බලාගාරය සම්පූර්ණ කිරීම සඳහා අවශ්ය අනෙකුත් සියලුම උපාංග සහ තාක්ෂණික කොටස් මේ වන විට ත්රිකුණාමලය වරාය වෙත සාර්ථකව ළඟා වී ඇත. වරාය බලධාරීන්ගේ සහ ඉංජිනේරුවන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ එම උපාංග ගොඩබෑමේ සහ මන්නාරම බලාගාර භූමිය වෙත ප්රවාහනය කිරීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදු කෙරේ.
රුපියල් බිලියන 4.7 ක දැවැන්ත විදේශ විනිමය ඉතිරියක්!
මෙම ව්යාපෘතිය මෙරට ආර්ථිකයට සුවිශේෂී සහනයක් ගෙන දීමට සමත් වන්නේ ඉන් නිෂ්පාදනය කෙරෙන විදුලි ඒකකයක් මිලදී ගැනීමට ගිවිසුම්ගත වී ඇති වාර්තාගත අඩු මිල නිසාවෙනි.
විදුලි ඒකකයක මිල: ඇමරිකානු ඩොලර් 0.0465 (ශ්රී ලංකා රුපියල් 14.37ක් පමණ)
මෙය ශ්රී ලංකා බලශක්ති ඉතිහාසයේ සුළං බලයෙන් උත්පාදනය කරන විදුලි ඒකකයක් වෙනුවෙන් ගෙවනු ලබන අඩුම මිල ලෙස වාර්තා වේ. මෙම බලාගාරය ජාතික පද්ධතියට එක්වීමත් සමඟ, මෙතෙක් විදුලි උත්පාදනය සඳහා වැය කළ ඩීසල් සහ ගල්අඟුරු වැනි පොසිල ඉන්ධන ආනයනය විශාල වශයෙන් සීමා වන අතර, ඒ හරහා වසරකට රුපියල් බිලියන 4.7ක පමණ අතිවිශාල විදේශ විනිමයක් රටට ඉතිරි කර ගැනීමට අවස්ථාව උදාවේ.
2030 පුනර්ජනනීය බලශක්ති ඉලක්කයේ සමාරම්භය
මෙම මන්නාරම සුළං විදුලි බලාගාරය, වසර 2030 වන විට මෙරට සමස්ත විදුලි අවශ්යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති ප්රභවයන්ගෙන් (Green Energy) සපුරා ගැනීමේ නව රජයේ ජාතික ඉලක්කය සපුරා ගැනීමේ ප්රධානතම පදනම් පියවරකි.
එමෙන්ම, වසර 2050 වන විට ශ්රී ලංකාව ළඟාවීමට ජාත්යන්තරව එකඟ වී ඇති “ශුද්ධ ශූන්ය කාබන් විමෝචන” (Net Zero Carbon) තිරසාර ඉලක්කය සපුරා ගැනීමට ද මෙයින් සෘජු දායකත්වයක් හිමි වේ.
විනිවිදභාවයෙන් යුතු ජාත්යන්තර ටෙන්ඩරයක්
මෙම ව්යාපෘතියේ ටර්බයින ස්ථාපනය සහ ඉදිරි නඩත්තු කටයුතු සිදු කරනු ලබන්නේ විවෘත හා තරඟකාරී ජාත්යන්තර ටෙන්ඩර් ක්රියාවලියක් ඔස්සේ සුදුසුකම් ලැබූ, මෙරට ප්රමුඛ පෙළේ ඉංජිනේරු සමාගමක් වන Hayleys Fentons PLC ආයතනය විසිනි.
එමෙන්ම, විදුලිබල පද්ධතියේ ස්ථායීතාවය තහවුරු කරමින් මෙහි පද්ධති පාලන සහ කළමනාකරණ කටයුතු (System Control) බලශක්ති අමාත්යාංශය යටතේ ඇති ජාතික පද්ධති ක්රියාකරු (National System Operator – NSO) ආයතනය මගින් 100%ක්ම රාජ්ය අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතය.
මෙම ව්යාපෘතිය සැලසුම්ගත කාලසීමාවටත් පෙර අවසන් කර ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට අවශ්ය සියලුම තාක්ෂණික සහ පරිපාලනමය සහයෝගය උපරිමයෙන් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

