2029 වසරේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ මහල් 16 කින් යුත් ජාතික හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
මෙරට නව කැත් රසායනාගාර ඒකක ස්ථාපිත කිරීමත් සමග වසරක පොරොත්තු ලේඛණ මාසයක් දක්වා අඩු කිරීමට සැලසුම්.
මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම හා විධිමත් කිරීම උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ නව වැඩපිළිවලක් මේවන විට ක්‍රියාත්මකව පවතී.
එම වැඩපිළිවල යටතේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ රුපියල් මිලියන 600 කට අධික ආයෝජනයක් යටතේ අළුතින් පිහිටුවන ලද හෘද කැතීටර්කරණ රසායනාගාර ද්විත්වය (Cardiac Catheterization Laboratory Complex) සහ නවීකරණය කරන ලද හෘද රෝග සායන ඒකකය (Renovated Cardiology Day Case Unit) නිල වශයෙන් රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක්කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ සිදු කෙරිණි.
නව තැකීටකරණ රසායනාගාර ඒකක සහ අළුතින් ප්‍රතිසංස්කරණය කරන ලද 71 B වාට්ටුව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ද ලක්විය.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වූ, ජනතා කේන්ද්‍රීය සෞඛ්‍ය පද්ධතියක් බවට පරිවර්තනය කිරීමේ ජාතික වැඩපිළිවෙළට අනුව හෘද සහ රුධිර නාල පද්ධති සම්බන්ධ රෝග ප්‍රතිකාර ක්ෂේත්රයේ සුවිශේෂි ඉදිරි පියවරක් සනිටුහන් කරමින් රුපියල් මිලියන 1200 ක වියදමින් මෙම සතිය තුළ මෙරට රජයේ රෝහල් පද්ධතියට නවීනතම තාක්ෂණයෙන් යුත් නව කැත් රසායනාගාර ඒකක (Cath Lab) 04 ක් එක් කරනු ලැබීය. ඒ අනුව පසුගිය 27 වන දින යාපනය ශික්ෂණ රෝහලේ ද, පසුගිය 30 දින කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ද, කැත් රසායනාගාර ඒකක රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක් කෙරිණි.
මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා 2029 සැප්තැම්බර් මස වන විට ශ්‍රී ලංකා ජාතික රෝහලේ මහල් 16 කින් යුත් ජාතික හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානය (National Treatment Center) විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත්, රුපියල් බිලියන 12 ක මුදලක් ඒ සඳහා දැනටමත් වෙන් කර මේ වසරේ වැඩ ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බවත් පැවසීය.
හෘද ප්‍රතිකාර සඳහා ජාතික රෝහලේ දැනට භාවිතා කරන කැත් රසායනාගාර ඒකකය වසර 10 ක් පමණ පැරණි බවත් එම රසායනාගාර ඒකකය වෙනුවට නව රසායනාගාරයක් එක් කරන බවත් පැවසූ අමාත්‍යවරයා මෙම නව කැත් රසායනාගාර ඒකක ස්ථාපිත වීමත් සමඟ ශ්‍රී ලංකා ජාතික රෝහල තුළ තැක් රසායනාගාර සංඛ්‍යාව 03 දක්වා ඉහළ යන බවත්, ඒ අනුව රෝගීන් 45කට පමණ දිනකට ප්‍රතිකාර සේවා ලබාදිය හැකි වන බැවින් පොරොත්තු ලේඛණ අවම කර ගැනීමට අවස්ථාව සැලසෙන බව ද පැවසීය.
මෙරට රෝහල් පද්ධතිය තුළ දැනට ක්‍රියාකාරි මට්ටමේ පවතින කැත් රසායනාගාර ඒකක ප්‍රමාණය 10ක් වන බව සඳහන් කළ අමාත්‍යවරයා එම සංඛ්‍යාව 26 දක්වා වැඩිකිරීමට ඉදිරියේ දී කටයුතු කරන බවත්, ඒ තුළින් දැනට පවතින වසරක පමණ පොරොත්තු ලේඛන එක් මාසයක කාලයක් දක්වා අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි සඳහන් කළේ ය.
සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට ද සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා ඉදිරියේ දී වෛද්‍ය නිලධාරීන්ගේ අවශ්‍යතාවය පිළිබඳව ගැටළුවක් ඇති නොවනු ඇති බව ද පැවසීය. බෝනොවන රෝග පාලනය සහ ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය හා අමාත්‍යාංශය සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් කාර්ය සාධන බලකායක් හරහා එම වැඩපිළිවල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද වැඩිදුරටත් පැවසීය.
මෙහිදී හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී ගලප්පත්ති මහතා අදහස් දක්වමින් දිනකට පොරොත්තු ලේඛණයට තිස්දෙනෙකු පමණ රෝගීන් ප්‍රමාණයක් එක්වන බවත්, දැනට පවතින වසරක පොරොත්තු ලේඛණ නව කැත් රසායනාගාර ඒකක ද්විත්වය විවෘත කිරීමත් සමඟ මාස 03 දක්වා අඩු කිරීමට අවස්ථාව උදාවන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම උත්සව සභාව අමතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර, ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සහ හෘද රෝග අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර යන මහත්වරු ද අදහස් දක්වන ලදී.
මෙම නවීනතම තාක්ෂණයෙන් යුත් උසස් කැතීටකරණ පද්ධතිවල කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ තත්කාලීන (Real-time) රූපකරණ තාක්ෂණය අන්තර්ගත වන අතර, ෆ්ලුරොස්කොපි ක්‍රියාවලියේදී විකිරණ මාත්‍රාව සැලකිය යුතු ලෙස අඩු කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් රූප ලබා ගැනීමට ද හැකියාව සලසයි.
මෙම හෘද කැතීටකරණ ඒකක (Cardiac Catheterization Laboratory) ස්ථාපිත කිරීම ඇතුළු රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙල තුළ මෙරට රෝහල් පද්ධතියේ රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා වන පොරොත්තු ලේඛණ අවම කරමින් වඩාත් පහසු, වේගවත් හා නිවැරදි රෝග විනිශ්චයන් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් රෝගී ජනතාවට ලබාදීමට හැකියාව ලැබෙනු ඇත.
මෙම හෘද කැතීටකරණ ඒකක ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර, ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සහ හෘද රෝග අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර, ආසියානු සංවර්ධන බැංකුවේ සෞඛ්‍ය පද්ධති දියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක යන මහත්ම මහත්මීන් මෙන්ම හිටපු අධ්යක්ෂවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩලය නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.

