ඡන්දෙ ගන්න කම් ගොවියා ‘දෙවියා’… දිනුවට පස්සේ ‘කසිප්පුකාරයා’ වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මැතිවරණ සමයේදී රට සංවර්ධනයේ පාරාදීසයක් කරන බව පවසන පාලකයන්, බලය ලබාගත් පසු රට බොරුවේ පාරාදීසයක් බවට පත්කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඡන්දය ලබාගන්නා තෙක් ගොවි ජනතාව “දෙවියන්” ලෙස සැලකූ වත්මන් රජය, බලයට පත්වීමෙන් පසු තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා මහපාරට බසින එම ගොවියන්වම “කසිප්පුකාරයන්” ලෙස හංවඩු ගසමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 102 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් තිස්සමහාරාම යෝධකණ්ඩිය බෝධිමහා විහාරස්ථානය වෙත රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුතු ප්‍රති-ආශ්‍රැතිකරණ (Ro plant) ජල පිරිපහදු පද්ධතියක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය:

“ලක්ෂ 12 විට්ස් කාර් එක වෙනුවට හාල් කිලෝ 20ක්”

“මැතිවරණ සමයේදී මේ රජය රාජ්‍ය සේවකයන්ට සහ මධ්‍යම පන්තියට කිව්වේ ලක්ෂ 12කට ‘විට්ස්’ (Vitz) වර්ගයේ මෝටර් රථ ලබාදීමේ හැකියාව තමන්ට තියෙනවා කියලා. ඒ හීන පෙන්වලා තමයි ඔවුන් බහුතර බලය ගත්තේ. හැබැයි අද වෙනකොට ඒ ලක්ෂ 12 විට්ස් කාර් එක වෙනුවට රාජ්‍ය නිලධාරීන්ට සිද්ධ වෙලා තියෙන්නේ තමන්ගේ වැටුපෙන් කැපී යන විදිහට හාල් කිලෝ 20ක් ගන්න. මේකද රාජ්‍ය සේවකයාට දුන්න සහනය?”

“වී කිලෝවට රුපියල් 150 දෙනවා කී පනත කෝ?”

කුඹුරට බැස වී කිලෝවක් සඳහා රුපියල් 150ක ස්ථාවර සහන මිලක් ලබාදෙන බවට විපක්ෂයේ සිටියදී පනත් ගැන කතා කළ අය, අද වන විට ගොවියාට වී කිලෝවක් සඳහා ගෙවන්නේ රුපියල් 75ත් 80ත් අතර මුදලක් බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

“අද වී ගොවියා අන්ත අසරණ වෙලා. කණකර උගස් කරලා, ගිනි පොළියට සල්ලි අරගෙන වගා කරන ගොවියාට ගුණාත්මක පොහොරක් නෑ, පොහොර සහනාධාරය නෑ. පොහොර මිල, කෘෂි රසායන මිල, ගොවි උපකරණ මිල අහස උසට පැනලා. හැබැයි නිෂ්පාදනයට ස්ථාවර මිලක් නෑ. මේ රජය උත්සාහ කරන්නේ අපේ රටේ ශිෂ්ටාචාරයට බද්ධ වුණු කෘෂිකර්මාන්තය මුළුමනින්ම විනාශ කරන්නයි.”

“76 වසරක සම්ප්‍රදාය අපි වෙනස් කළා”

රටේ වසර 76ක දේශපාලන ඉතිහාසය තුළ විපක්ෂයක් විසින් ජනතාවගේ බදු මුදල්වලින් තොරව රටට සේවයක් කළ ප්‍රථම අවස්ථාව සමගි ජන බලවේගය බවද ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළේය.

“අපි විපක්ෂයේ ඉඳගෙන ජනතාවට, පාසල්වලට, රෝහල්වලට සහ ආගමික ස්ථානවලට සේවය කරද්දී රජය කරන්නේ අපිට මඩ ගහන එක විතරයි. තමන්ගේ නොහැකියාව වසාගන්න ඔවුන් මාධ්‍ය උපක්‍රම පාවිච්චි කරනවා. එදා රණසිංහ ප්‍රේමදාස මහතා ඇඟලුම් කම්හල් 200ක් හදන ගමන් කෘෂිකාර්මික විප්ලවයකුත් කළා. හැබැයි අද 159ක බහුතරයක් තියාගෙනත් මේ රජයට ජනතාවට වුණු එක පොරොන්දුවක් ඉටුකරගන්න බැරි වෙලා.”

දේශපාලන මඩ ප්‍රහාර කිනම් ආකාරයෙන් පැමිණියද, ප්‍රායෝගික බෞද්ධයෙකු ලෙස සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමටත්, රටේ ආගමික සිද්ධස්ථාන නංවාලීමටත් තමන් අඛණ්ඩව කැපවන බවද විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share.
Leave A Reply