පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය නිර්මාණය කර රට අසමගියට පත් කළ අතීත යුගය දැන් නිමා වී ඇතැයි අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

සියලු ජාතීන්ට එකට ජීවත් විය හැකි විනයගරුක හා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට නව රජය කැපවී සිටින බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ නෙලුම් කුලුන පරිශ්‍රයේදී පැවැති සමස්ත ලංකා මුස්ලිම් තරුණ සංගමයේ (YMMA) 76 වැනි සංවත්සර මහා සභාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

අමාත්‍යවරයා මෙසේ ද කීය.

2024 වසරෙන් පසුව රට තුළ කිසිදු ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමකට ඉඩ තබන්නේ නැත.

රටේ ආර්ථිකය, විනය සහ නීතිය ගොඩනැගීමට නම් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ යන අප සියලු දෙනාම එකම මවකගේ දරුවන් මෙන් සහෝදරත්වයෙන් එකට ජීවත් විය යුතුය.

පසුගිය ආපදා අවස්ථාවලදී මාතර සහ ගාල්ලේ මුස්ලිම් තරුණයන් බදුල්ල සහ මල්වාන වැනි ප්‍රදේශවලට ගොස් ඉස්ලාම් දහම උගන්වන සහෝදරත්වය ප්‍රායෝගිකවම පෙන්නුම් කරමින් සිදුකළ ස්වේච්ඡා සහන සේවා අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක් විය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිහ් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.  

Share.
Leave A Reply