රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වසර ගණනාවක් පුරා පවතින වැටුප් විෂමතා මෙන්ම විශ්‍රාම වැටුප් ගැටලුවලට තිරසර විසඳුම් සෙවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ “වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක්” පිහිටුවා තිබේ.
2026 ජූනි 22 දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් පිහිටුවන ලද මෙම කොමිෂන් සභාවේ සභාපතිත්වය දරනු ලබන්නේ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් මහතාය. සභාපතිවරයා ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් විශේෂඥ මණ්ඩලයක් මෙම කොමිසමට ඇතුළත් වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ද සැලකිල්ලට ගනිමින්, සමස්ත රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම මෙහි ප්‍රධාන අරමුණකි. නව තාක්ෂණික සහ ගෝලීය ප්‍රවණතාවලට ගැළපෙන, පුරවැසි කේන්ද්‍රීය, ආචාරධර්මානුකූල සහ වගකීම් සහිත රාජ්‍ය සේවයක් අනාගතය සඳහා නිර්මාණය කිරීමට අවශ්‍ය උපායමාර්ගික නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කොමිසමට පැවරී ඇති සුවිශේෂී වගකීමකි.

