“පැරණි වී තොග වෙළෙඳපොළට නොදැමීම ගැටලුවක්; සියලුම ගබඩා සඳහා වහාම නිවැරදි දත්ත පද්ධතියක් හදන්න”
මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වහාම වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට අද (23) දැඩි උපදෙස් ලබා දුන්නේය. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
පසුගිය වසරේ යල කන්නයේ මිලදී ගත් වී තොග තවමත් ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළට යොමු නොවීම බරපතළ ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම ගබඩා කඩිනමින් නිදහස් කර ගැනීම වෙනුවෙන් ගෙන ඇති පියවර සහ ඒ සඳහා වන යෝජනා පිළිබඳවද නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.
දිස්ත්‍රික් මට්ටමින් පවතින ගබඩාවල තත්ත්වය සහ රට සතු ආරක්ෂිත වී තොග පිළිබඳව නිවැරදි දත්ත පද්ධතියක් (Data System) කඩිනමින් සකස් කරන ලෙස මෙහිදී උපදෙස් ලැබිණි. එවැනි පද්ධතියක් මගින් ඉදිරියේදී මතුවිය හැකි මෙවැනි පරිපාලනමය ගැටලු සම්පූර්ණයෙන්ම මගහරවා ගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
“දේශගුණික විපර්යාස හමුවේ රටේ ආරක්ෂිත වී තොග පවත්වා ගැනීම සාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස සැහැල්ලුවෙන් නොසලකා, විශේෂ අවධානයක් යොමු කළ යුතු ජාතික වගකීමක්.” යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක කීය.
දේශගුණික බලපෑම් හේතුවෙන් ඇති විය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා ආරක්ෂිත වී තොග පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත්, එය සාමාන්‍ය රාජකාරි මට්ටමෙන් ඔබ්බට ගොස් විශේෂ ප්‍රමුඛතාවක් දී ඉටුකළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

