ඉන්ධන සූත්‍රයෙන් ජනතාව ගසාකෑමක්: මිලියන 2.5ක අතුරුදන් වීම ගැන මුදල් ලේකම් ධුරයෙන් පන්නනු! – මුජිබර් රහුමාන්

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටෙද්දීත්, මැදපෙරදිග යුද්ධය මුවාවෙන් වත්මන් රජය ජනතාව මත අධික බදු පටවමින් ඉන්ධන මිල සූත්‍රය “ගසාකෑමේ සූත්‍රයක්” බවට පත්කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (21) පැවැති මාධ්‍ය හමුවකදී දැඩිව චෝදනා කළේය.

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීමේ සිද්ධිය සහ මැතිවරණ කල්දැමීම පිටුපස ඇති දේශපාලන කුමන්ත්‍රණ පිළිබඳවද මන්ත්‍රීවරයා මෙහිදී සංඛ්‍යාලේඛන සහිතව කරුණු අනාවරණය කළේය.

ලෝක තෙල් මිල බැස යද්දී ලංකාවේ මිල ඉහළටම!

ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 75 ත් 80 ත් අතර ප්‍රමාණයකට සීඝ්‍රයෙන් පහළ බැස තිබියදීත්, රජය එහි වාසිය ජනතාවට ලබා නොදෙන බව මුජිබර් රහුමාන් මහතා පෙන්වා දුන්නේය. පෙබරවාරි මාසයේදී තෙල් බැරලයක් ඩොලර් 67 කට මිලදී ගෙන, මාස 3කට සෑහෙන තොග රට තුළ තිබියදීත්, මාර්තු මාසයේදී පමණක් රජය සිව් වතාවක් ඉන්ධන මිල ඉහළ දමා ඇත.

පෙබරවාරි 28 න් පසු සිදුවූ මිල රුපියල් මිල ඉහළ යෑම්:

92 පෙට්‍රල්: රුපියල් 142 කින් ඉහළට (NPP බලයට පෙර රු. 260 ට තිබූ මිල වත්මන් වන විට රු. 434 දක්වා ඉහළ දමා ඇත)

95 පෙට්‍රල්: රුපියල් 155 කින් ඉහළට

ඔටෝ ඩීසල්: රුපියල් 126 කින් ඉහළට

සුපිරි ඩීසල්: රුපියල් 146 කින් ඉහළට

භූමිතෙල්: රුපියල් 103 කින් ඉහළට

කලාපීය සංසන්දනය: පකිස්ථානය පෙට්‍රල් ලීටරය රු. 74 කින් සහ ඩීසල් ලීටරය රු. 67 කින් අඩු කරද්දී, ඉන්දියාවේ නවදිල්ලියේ ඩීසල් ලීටරයක් රු. 357 ක් වැනි සහන මිලකට ලබා දෙයි. නමුත් ලංකා රජය අධික බදු හරහා ජනතාව පීඩාවට පත් කරයි.

රටේ ඩිජිටල් ආර්ථික උපදේශකවරුන් සිටියදීම මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 ක් අතුරුදන් වී ඇති බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය. මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කිරීමට නම් වහාම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ධුරයෙන් ඉවත් කළ යුතු වුවද රජය මෙතෙක් ඒ සඳහා පියවර ගෙන නොමැත.

පළාත් සභා මැතිවරණයට වෙන්කර තිබූ මුදල් ‘දිට්වා’ වෙනුවෙන් වියදම් කළ බවට ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කර තිබියදී, අගමැතිනිය තමන් ඒ පිළිබඳව නොදන්නා බව පැවසීම විහිළුවක් බව රහුමාන් මහතා පැවසීය.

“හරිනි අගමැතිනිය ජීවත් වෙන්නේ ටිල්වින් සිල්වාට බයේ. මේ ගැන කතා කළොත් අගමැති ධුරය නැතිවෙයි කියලා ඇය බයයි. ඡන්ද අයිතිය රකිනවා කියපු ආණ්ඩුව දැන් මැතිවරණ පවත්වන්නේ නැහැ.”

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සෙවීමට සහ ෂානි අබේසේකර, රවි සෙනවිරත්න යන නිලධාරීන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සටන් කළේ සමගි ජන බලවේගය පමණක් බව සිහිපත් කළ මන්ත්‍රීවරයා, වත්මන් රජය සිදුකරන විමර්ශන දෙස තමන් විමසිල්ලෙන් බලා සිටින බවත්, SJB රජයක් යටතේ සියලු අපරාධකරුවන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන බවත් අවධාරණය කළේය.

Share.
Leave A Reply