ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ මහා භාණ්ඩාගාරය අතර පවතින ආයතනික මතභේද හේතුවෙන්, රටට අහිමි වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 100කට ආසන්න) දැවැන්ත මහජන මුදලක් වංචනිකයන් විසින් විදේශ ගිණුම් වෙත හරවා ගෙන ඇති බව “Free Lawyers” සංවිධානය හෙළිදරව් කරයි.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ තීරණාත්මක සමයක, IMF කොන්දේසි මත රාජ්‍ය ණය කළමනාකරණ කටයුතු මහ බැංකුවෙන් භාණ්ඩාගාරයේ නව ‘රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය’ (PDMO) වෙත පැවරීමේ සංක්‍රාන්ති සමයේදී සිදු වූ බරපතළ පාලන දුර්වලතා සහ නොසැලකිල්ල මෙම මංකොල්ලයට සෘජුවම හේතු වී ඇත.

ජාත්‍යන්තර අනතුරු ඇඟවීම් කුණු කූඩයට!

ඇමරිකාවේ ජේ.පී. මෝර්ගන් (JPMorgan) සහ ෆෙඩරල් රිසර්ව් (Federal Reserve) බැංකු විසින් මෙම විදේශ ගනුදෙනුවල සැක සහිත ස්වභාවය පිළිබඳව SWIFT පණිවිඩ මගින් පැහැදිලිව අනතුරු අඟවා තිබියදීත්, බලධාරීන් ඒවා මුළුමනින්ම නොසලකා හැර මුදල් ගෙවා ඇත.

මහ බැංකුව නව පනත මුවාවෙන් වගකීමෙන් අත් සෝදා ගැනීමට උත්සාහ කරන අතර, මුදල් විශුද්ධිකරණ (AML) නීති පෙන්වමින් අත්‍යවශ්‍ය තොරතුරු භාණ්ඩාගාරයෙන් සැඟවූ බවට ද චෝදනා එල්ල වේ. අනෙක් පසින්, ප්‍රමාණවත් තාක්ෂණික දැනුමක් නොමැතිව භාණ්ඩාගාරය කඩිමුඩියේ මෙම මෙහෙයුම් භාර ගැනීම නිසා වංචනිකයන්ට මඟ පෑදී ඇත. මෙම ඛේදවාචකය හේතුවෙන් එක් නිලධාරියෙකුගේ ජීවිතය පවා අහිමි වී තිබේ.

පාර්ලිමේන්තුවේ සති 7ක නිහැඬියාව සහ ප්‍රමාද උපක්‍රම

2026 අප්‍රේල් 22 වැනි දින “Free Lawyers” සංවිධානය විසින් මෙම වංචාව මුල්වරට අනාවරණය කර කතානායකවරයාට සහ රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (COPF) ලිඛිතව දැනුම් දුන්නද, මේ වන තෙක් කිසිදු නිල පිළිතුරක් ලැබී නැත.

වංචාව සිදුවී මාස 8ක් ගතවී ඇතත්, පාර්ලිමේන්තු මුදල් කමිටුව හරහා සති ගණන් කල් ගනිමින් තොරතුරු වෙනස් කිරීමට සහ සැඟවීමට බලධාරීන්ට ඉඩ සලසා දී ඇත. අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ රහසිගත වාර්තාව COPF සභාපති හර්ෂ ද සිල්වා මහතාගේ නිවසට යැවීම වැනි ක්‍රියාවන් හරහා ව්‍යවස්ථාදායකය සතු ‘මහජන මුදල් පාලනය කිරීමේ පරම බලය’ (ව්‍යවස්ථාවේ 148 වගන්තිය) බරපතළ ලෙස උල්ලංඝනය කර ඇත.

විගණකාධිපතිගෙන් ‘කොන්දේසි සහිත මතයක්’ – වහාම පියවර ගනු!

වත්මන් මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය පවා ‘කොන්දේසි සහිත මතයක්’ (Qualified Opinion) ප්‍රකාශ කර ඇති අතර, අමාත්‍යාංශයේ කටයුතු සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

මෙවැනි විනාශයන් නැවත වැළැක්වීම සඳහා:

වහාම පද්ධති පිළිබඳ වෝහාරික විගණනයක් (Forensic Audit) සිදු කිරීම,

මහ බැංකුව ද යටත් වන සේ ‘මූල්‍ය ව්‍යාපාර පනත’ වහාම සංශෝධනය කිරීම,

මහ බැංකුව සහ භාණ්ඩාගාරය එක්ව ‘ඒකාබද්ධ අර්බුද කළමනාකරණ ඒකකයක්’ පිහිටුවීම,

දේශපාලන පත්වීම් නතර කර, වෘත්තීය පළපුරුද්ද සහිත නිලධාරියෙකු වහාම මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයට පත් කිරීම අනිවාර්ය බව “Free Lawyers” සංවිධානය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහත්වරු දැඩිව අවධාරණය කරති.

Share.
Leave A Reply