විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් අත්සන් කළ හදිසි ලිපියක් කථානායකට බාර දෙයි; ව්‍යවස්ථා අර්බුදයක් ගැන අනතුරු අඟවයි.
ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ පද්ධතිය දැඩි අර්බුදයකට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු ධුර අටක් (08) පිළිගත නොහැකි තරම් දීර්ඝ කාලයක් තිස්සේ පුරප්පාඩුව පවතින බව අනාවරණය වේ.
මෙම තත්ත්වය වහාම වැළැක්වීමට මැදිහත් වන්නැයි ඉල්ලමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් කරන ලද විශේෂ ලිපියක් අද (12) පාර්ලිමේන්තු කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා වෙත නිල වශයෙන් භාර දී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු හතරක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු හතරක් වශයෙන් පවතින මෙම පුරප්පාඩු නොපිරවීම, ජනතාව සතු පරමාධිපත්‍යයේ ප්‍රධාන අංගයක් වන අධිකරණයේ ස්වාධීනත්වයට සහ කාර්යක්ෂමතාවයට එල්ල වී ඇති බරපතළ තර්ජනයක් බව විපක්ෂය පෙන්වා දෙයි.
විපක්ෂ නායක කාර්යාලය විසින් නිකුත් කරන ලද මෙම ලිපියට අනුව, ව්‍යවස්ථානුකූලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් මෙම විනිසුරු පත්වීම් සිදු කළ යුතුය. එහෙත්, පත්වීම් දිගින් දිගටම ප්‍රමාද කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(1) වගන්තිය සෘජුවම උල්ලංඝනය කිරීමක් බව මන්ත්‍රීවරු චෝදනා කරති.
මෙම පුරප්පාඩු පිළිබඳව ගරු අග්‍රවිනිශ්චයකාරවරයා විසින් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිල වශයෙන් දැනුවත් කර තිබේද යන්න සොයා බලන ලෙසත්, එසේ දැනුම් දී නොමැති නම් ඊට හේතු වහාම විමසා බලන ලෙසත් කථානායකවරයාගෙන් ඉල්ලා ඇත.
විනිසුරුවන් අධෛර්යමත්; මහජන විශ්වාසය පළුදු වේ
විනිසුරු පුරප්පාඩු නොපිරවීම හේතුවෙන් අධිකරණ පද්ධතිය තුළ බරපතළ ප්‍රතිවිපාක රැසක් නිර්මාණය වී ඇති බව විපක්ෂය පවසයි.
උසස්වීම් සඳහා සුදුසුකම් ලබන ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් මේ හේතුවෙන් දැඩි ලෙස අධෛර්යමත් වන අතර, ඔවුන්ගේ වෘත්තීය අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයක් මතුව තිබේ. මෙය ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ‘නීතියේ සමාන ආරක්ෂාව‘ බිඳ වැටීමකි.
දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ කාර්යභාරය අධික වීම නිසා නඩු ප්‍රමාදය තවදුරටත් උග්‍ර වන අතර අධිකරණ පරිපාලනයේ කාර්යක්ෂමතාව බිඳ වැටේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) ව්‍යවස්ථාව ප්‍රකාරව නිසි ලෙස ස්ථාපිත උසාවි හරහා අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම මූලික වගකීමක් වන නමුත්, පත්වීම් ප්‍රමාදය නිසා සමස්ත අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය පළුදු වෙමින් පවතී.
පාර්ලිමේන්තුවේ කථානායකවරයා මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාට ඇති ද්විත්ව බලතල උපයෝගී කරගනිමින්, මෙම කරුණ වහාම ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලෙස විපක්ෂය ඉල්ලා සිටී.
එමෙන්ම, රටේ පවතින මෙම ව්‍යවස්ථාමය ගැටලුව පිළිබඳව සමස්ත පාර්ලිමේන්තුවේම අවධානය යොමු කරවා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙසද විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය ලිපිය මඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

